රිංකු ගඟට ඉනි කපද්දී Lucknow එක් ලකුණකින් Play offs වටයට!

2396
Credit : BCCI

Indian Premiere League තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ (20) නිමාවට පත් වුනේ Lucknow Super Giants කණ්ඩායම Play Offs වටයට යොමු කරමින්. එහි දී තරග අවසන් කරන්නෙකු ලෙස මේ වන විට නමක් දිනා සිටින Rinku Singhගේ විශිෂ්ට උත්සාහය අපතේ හරිමින් එක් ලකුණකින් Kolkata Knight Riders පරාජය කර දමන්නට ඔවුන්ට හැකි වුනා.

මෙම තරගය ඇරඹෙද්දී Kolkata කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීම සඳහා ඉතා සුළු ඉඩක් පමණක් ඉතිරිව තිබූ අතර Lucknow කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය කර තිබුණේ තරගය කෙසේ හෝ ජය ගැනීම පමණයි. Kolkata සහභාගි වන්නේ මෙවර තරගාවලියේ අවසන් තරගයට වන නිසා එය නැරඹීමට ප්‍රේක්ෂකයින් රැසක් ඊඩ්න් ගාර්ඩ්න් පිටියට එක්රැස් වී සිටියා.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ Kolkata නායක Nitish Rana මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව Lucknow කණ්ඩායමට ලබා දුන්නා. ඔවුන් ආරම්භක පිතිකරු ලෙස යොදාගත් Karan Sharma තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වූ අතර De Kock ලකුණු 28ක් රැස් කළේ පන්දු 27ක් ඒ වෙනුවෙන් යොදා ගනිමිනුයි.

Prerak Mankad ලකුණු 26යි. පසුගිය තරගවල දී Lucknow කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ Marcus Stoinis ඊයේ ලකුණු නොලබාම දැවී ගියා. මෙම කඩුලු 2ටම වග කියන්නේ ඉන්දීය දකුණත් වේගපන්දු යවන්නෙකු වන Vaibhav Aroraයි. නායක Krunal Pandya එල්ල කළ ස්වීප් පහර ඩීප් මිඩ්-විකට් හි සිට Rinku Singh වේගයෙන් දුව ගොස් රැක ගත්තා.

මේ අනුව Lucknow කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 73ක් තුල බිඳ වැටුණේ ඔවුන්ගේ Play offs සිහිනය ඈතට පා කර දමමින්. මේ මොහොතේ ලකුණු 74ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ Ayush Badoni සහ Nicholas Pooran අතරයි. බොහෝ IPL වෙන්දේසිවල දී තමා මිල දී ගැනීමට කණ්ඩායම් පොර කන්නේ ඇයි දැයි තහවුරු කරමින් Nicholas Pooran ලකුණු 58ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා.

පන්දු 30ක් පමණක් ක්‍රීඩා කළ මෙම සුපිරි කොදෙව් ප්‍රහාරකයා එහි දී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් එල්ල කළා. අනෙක් අන්තයේ සිටි Ayush Badoni ලකුණු 25ක් රැස් කිරීමට පන්දු 21ක් වැය කළත්, ඊට වඩා ඔහු නොදැවී සිටිමින් උර දුන් ලකුණු සබඳතාවය වැදගත් වුනා.

මුල දී ලකුණු 150ට අඩුවෙන් නිමා වන බව පෙනෙන්නට තිබූ Lucknow ඉනිම ලකුණු 176ක් දක්වා ඉහළ නගින්නේ මේ නිසයි. පන්දු යැවීමේ දී Sunil Narine, Shardul Thakur සහ Vaibhav Arora කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. Eden Garden තණතිල්ලේ මෙවර ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වූ නිසා මෙය තරගයක් ජය ගැනීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණයක් ලෙසයි විචාරකයින් මත පළ කළේ.

පිළිතුරු ඉනිම ඇරඹූ Kolkata Knight Riders ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දුවාරයකට ලකුණු 10ක පමණ වේගයක් ද සහිතව ලකුණු 61ක් රැස් කළා. අවසානයේ Krishnappa Gowtham මෙම සබඳතාවය බිඳ හෙළන්නේ Ravi Bishnoi අතට පහසු උඩපන්දුවක් ලබා දෙමින්. එහි දී පන්දු 15ක් තුල දී වේගවත් ලකුණු 24ක් ලබා ගත් Venkatesh Iyer දැවී ගියා.

නායක Nitish Rana ඊයේ ලකුණු 8ක් ලබා සිටිය දී දැවී ගියේ Ravi Bishnoiගේ 100 වැනි විස්සයි විස්ස කඩුල්ල ලෙසයි. ඒ වෙනුවෙන් Krunal Pandya ඉතා සරල උඩපන්දුවක් රැක ගත්තා. මේ අතරේ Jason Roy පන්දු 28කින් ලකුණු 45ක් ලබා සාර්ථක ඉනිමක් දියත් කරමින් සිටි අතර ඔහුව සම්පූර්ණයෙන්ම පරාජය කර දමනින් කඩුල්ල බිඳ හෙළීමට Lucknow නායකයා කටයුතු කළා.

Kolkata ඉනිම පුරාවටම විටින් විට කඩුලු දැවී යාම මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී ඔවුන්ට දැඩි අවාසියක් ගෙන දුන්නා. ඒ නිරන්තරයෙන් අලුත් වන පිතිකරුවන් පිටියේ ස්ථාවර වීමට වැඩි පන්දු ගණනක් යොදා ගන්නා නිසයි. Rahmanullah Gurbaz ඊයේ රැස් කළේ ලකුණු 10ක් පමණයි. ලකුණු වේගය වැඩි කර ගත යුතු මේ මොහොතේ Andre Russell වේගවත් පහරක් කරා යොමු වූ අතර පන්දුව ඉතා පහතින් ඇදී යාම නිසා ඔහුගේ කඩුල්ල බිඳ හෙළීමට Ravi Bishnoi සමත් වුනා.

ඒ වන විට Russell රැස්කර සිටියේ ලකුණු 7ක් පමණයි. එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී අනෙක් අන්තයේ තනි වී Kolkata කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට අපමණ වෙහෙසක් දැරූ Rinku Singh ඊයේ පන්දු 33කින් ලකුණු 67ක් රැස් කළා.

19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Naveen ul Haqට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ ඔහු එහි දී ලකුණු 20ක් උදුරා ගැනීමට සමත් වුනා. ඒ අවසන් පන්දුවාරයේ දී තරග ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 22ක් ඉතිරි කරමින්.

එය ක්‍රියාත්මක කළ Yash Thakur වයිඩ් පන්දු 2ක් සමඟින් වුවත් තම මුල් පන්දු 3 ලකුණු 3කට සීමා කරගන්නට සමත් වුනා. ඉතිරි පන්දු 3ට හයේ පහර 2ක් සහ හතරේ පහරක් එල්ල කරන්නට Rinku Singh සමත් වුනත් තරගය ජය ගැනීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

මේ නිසා කෙස් ගසක තරම් සුළු පරතරයකින් Play offs වටයේ ප්‍රවේශ පත්‍රය දිනා ගැනීමට Lucknow Super Giants සමත් වුනා. Rinku Singhගේ සටන්කාමී ඉනිම හතරේ පහර 6කින් සහ හතරේ පහර 4කින් හැඩවුනා.

Lucknow Super Giants – කඩුලු 8ක් දැවී ලකුණු 176 (පන්දුවාර 20): Nicholas Pooran 58, Quinton De Kock 28, Prerak Mankad 26, Ayush Badoni 25, Shardul Thakur 2/27, Sunil Narine 2/28, Vaibhav Arora 2/30.

Kolkata Knight Riders – කඩුලු 7ක් දැවී ලකුණු 175 (පන්දුවාර 20): Rinku Singh 67*, Jason Roy 45, Venkatesh Iyer 24, Rahmanullah Gurbaz 10, Ravi Bishnoi 2/23, Yash Thakur 2/31.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ බිඳ වැටුණු LSG ඉනිම ලකුණු 176ක් වැනි තරගයක් දිය හැකි මට්ටමකට ඔසවා තැබූ Nicholas Pooranයි. මේ අනුව මෙවර IPL තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායමේ ගමනටත් නැවතීමේ තිත තැබුණා.

අද මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය වන අතර Gujarat Titans, Chennai Super Kings සහ Lucknow Super Giants කණ්ඩායම් 3 මේ වන විටත් ඉදිරි වටය සඳහා සුදුසුකම් සපුරාගෙන අවසන්. Play offs වටයේ ඉතිරි වී ඇති එකම අසුන වෙනුවෙන් අද කණ්ඩායම් 3ක් මග බලා සිටිනවා. ඒ Royal Challengers Bangalore, Rajastan Royals සහ Mumbai Indians යන කණ්ඩායම් ත්‍රිත්වයයි.

එබැවින් අද (21) පැවැත්වෙන තරග දෙකම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි කල් තියාම බලාපොරොත්තු විය හැකි අතර සවස 3.30ට Mumbai Indians සහ Sunrisers Hyderabad අතර තරගයත්, රාත්‍රී 7.30ට Royal Challengers Bangalore සහ Gujarat Titans අතර තරගයත් ආරම්භ වීමට නියමිතයි.

බොහෝ දුරට ඉදිරි වටයට පිවිසීමට නම් මෙම තරගය ජය ගැනීම පමණක් Bangalore කණ්ඩායමට ප්‍රමාණවත් වන අතර Mumbai Indians කණ්ඩායමට Play offs වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හොඳ පරතරයකින් තරගය ජය ගැනීමටත් සිදු වෙනවා.

මේ වන විට මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කොට අවසන්ව ඇති Rajastan Royals බලා සිටින්නේ Bangalore සහ Mumbai යන කණ්ඩායම් දෙකම අද පරාජය වී දල ලකුණු වේගය අනුව ඉදිරි වටයට පිවිසීමටයි. කණ්ඩායම් 3ක ඉරණම විසඳෙන උණුසුම් තරග ද්විත්වයේ මිහිර සජීවීව විඳ ගැනීමට පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<