සංගාගේ Impact Player පංජාබය තරගාවලියෙන් ඉවතට විසි කරයි

3407
Rajastan Royals v Punjab Kings
Credit : BCCI

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් කණ්ඩායමක ඉරණම ඊයේ (19) දිනයේ විසඳුනා. ඒ Punjab Kings කණ්ඩායමටත් ඉදිරි වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමි කරමින්. ඔවුන් හමුවේ කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Rajastan Royals කණ්ඩායම සමත් වුනා.

තරගය පැවැත්වුනේ පංජාබ් නව ක්‍රිකට් බලකොටුව වන ධරම්සාලා හිදීයි. ඔවුන් මීට පෙර තමන්ට අයත් ක්‍රීඩා පිටිය ලෙස සැලකුවේ මොහාලි ක්‍රීඩාංගණයයි. නමුත් ඔවුන් මෙවර IPL තරගාවලියේ ධරම්සාලා හිදී පැවති තරග ද්විත්වයම පරාජයට පත්වීම කණගාටුවට කරුණක්. ඊයේ කාසියේ වාසිය දිනා ගත් Rajastan කණ්ඩායම මුලින් පිතිකරණයේ යෙදීමට පංජාබයට ඇරයුම් කළා.

මෙවර තරගාවලියේ තම අවසන් තරගයට ක්‍රීඩා කළ Punjab කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂට අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතර අවස්ථාවක් ලබා දී තිබුණේ නැහැ. මෙවර තරගාවලියේ ශතකයක් ලබා ගත් නවක ඉන්දීය පිතිකරු Prabshimran Singh ඊයේ පළමු පන්දුවාරයේ දී ම දැවී ගියා. බොහෝ අවස්ථාවල දී මෙම දස්කම දැක්වීමට සමත් වන Trent Boult ඊයේ පන්දු යැවීමෙන් පසු තම දකුණු පසට පනිමින් දක්ෂ උඩපන්දුවක් සම්පූර්ණ කළා.

නායක Shikhar Dhawan සහ Atharva Taide යම් ආරම්භයක් ලබා ගත්ත ද, ලකුණු 20ට අඩුවෙන් දැවී ගියා. පසුගිය තරගයේ ලකුණු 94ක් රැස් කරමින් Punjab ජයග්‍රහණය අසලටම ගෙන ආ Liam Livingston මෙවර රැස්කර ගත්තේ ලකුණු 9ක් පමණයි. මේ නිසා Punjab ඉනිමට ලකුණු 50ක් එකතු වෙද්දීම ඔවුන්ගේ කඩුලු 4ක් බිඳ වැටී අවසන්ව තිබුණා.

මේ මොහොතේ පස්වැනි කඩුල්ලට ලකුණු 64ක් එකතු කරන්නේ Sam Curran සහ Jitesh Sharmaයි. ඉනිමේ මුල් කොටසේ දී තරමක් ප්‍රවේසම් වූ ඔවුන් දෙදෙනා පසුව තම ලකුණු වේගය ද වැඩිකර ගනිමින් සාර්ථක ඉනිම් දෙකක් ක්‍රීඩා කළා. පන්දු 28කට පමණක් මුහුණ දුන් Jitesh එහි දී ලකුණු 44ක් රැස් කරන්නේ හතරේ පහර සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින්.

අනෙක් අන්තයේ ඉනිම අවසන් වන තෙක්ම නොදැවී සිටි Sam Curranට තම අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් නැවතී සිටීමට සිදු වුනා. ඒ අතරේ ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර ද්විත්වයක් ද එල්ල කළා. මෙවර IPL තරගාවලියේ හොඳ සොයා ගැනීමක් වන Shahrukh Khan ඊයේ තමන්ට ලැබුණු පන්දු 23 දී ලකුණු 41ක් නොදැවී ලබා ගන්නට කටයුතු කළා.

Shahrukh සහ Curran ඊයේ තම මුල් පන්දුවාර 3 ලකුණු 12කට අවසන් කර සිටි Yuzvendra Chahalට මතක හිටින පාඩමක් කියා දුන්නා. ඒ ඔහුගේ අවසන් පන්දුවාරයට ලකුණු 28ක් උදුරා ගනිමින්. පසුපෙළ පිතිකරුවන්ගේ මෙම සාර්ථකත්වය නිසා Punjab Kings කණ්ඩායමට කඩුලු 5ක් දැවී මුළු ලකුණු 187ක් ලබා ගැනීමට හැකි වුනා. පන්දු යැවීමේ දී Navdeep Sainiගේ වේගපන්දුවට Rajastan පිතිකරුවන් තිදෙනෙක් බිලි වුනා.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට පිටියට පිවිසි Jos Buttler ඊයේ ලකුණු නොලබාම දැවී ගියා. ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Kagiso Rabadaගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්. නමුත් එතැන් පටන් ලකුණු 73ක අගනා සබඳතාවයක් සමඟින් Rajastan ඉනිම ස්ථාවර කරන්නට ඉන්දීය යොවුන් පිතිකරුවන් දෙදෙනෙක් වන Yashasvi Jaiswal සහ Devdutt Padikkal කටයුතු කළා.

මෙවර තරගාවලියේ හොඳම නැගීඑන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම කියැවෙන Jaiswal ඊයේ තවත් අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 36ක් තුල දීයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් වුනා. බොහෝ විට හයේ පහර කරා යාමට තරමක මැළිකමක් දක්වන ඔහු පිටියේ කොහෙන් හෝ හතරේ පහරවල් සොයා ගැනීමට නම් දක්වන්නේ නිසඟ කුසලතාවයක්.

Devdutt Padikkal ඊයේ ලකුණු 51ක් රැස්කර ගත්තේ පන්දු 30කට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර ත්‍රිත්වයකින් හැඩ වුනා. නායක Sanju Samson ඊයේ රැස්කළේ ලකුණු 2ක් පමණයි. Punjab කණ්ඩායම ලබා දුන් ඉහළ ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී Shimron Hetmyer ලබා දුන් දායකත්වය ද අමතක කළ නොහැකියි. ඔහු අවශ්‍යම මොහොතේ පන්දු 28කින් ලකුණු 46ක් ලබාගෙන ලකුණු වේගය වැඩිකර දුන්නා.

ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර බොහෝ විට විවේචනයට පාත්‍ර වන Riyan Parag ඊයේ දිනයේ දී නම් පන්දු 12කින් ලකුණු 20ක් ලබාගෙන තම යුතුකම් කොටස ඉටුකර දුන්නා. මේ නිසා Rajastan කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ලබා ගැනීමට සිදු වූ ලකුණු සංඛ්‍යාව 9ක්. කෙසේ වෙතත් ඊයේ පන්දු යවන්නන් පස් දෙනෙකු පමණක් භාවිතා කළ Punjab කණ්ඩායමට අවසන් පන්දුවාරය ලබා දීමට සිදු වුනේ දඟපන්දු යවන්නෙකු වන Rahul Chaharටයි.

ඔහු පන්දුවාරයේ මුල් පන්දු 3ම ලකුණු 4කට නිමා කළත්, සිව්වැනි පන්දුවට අඩි දෙකක් ඉදිරියට පැන පන්දු යවන්නාගේ හිසට ඉහළින්ම පන්දුව හයේ සීමාව වෙත යොමුකළ Dhruv Jurel රාජස්ථානය වෙනුවෙන් තරගය ජය ගත්තා. ඒ ඔහුව Impact Player ලෙස භාවිතා කිරීමට ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර ඇතුළු කළමනාකාරීත්වය ගත් තීරණය සාර්ථක කරමින්.

තමා ගැන තැබූ විශ්වාසය අකුරටම සුරැකි Dhruv Jurel තරගයේ තීරණාත්මක පන්දු 4කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 10ක් රැස් කළා. ඒ මෙවර තරගාවලියේ Play offs වටයට පිවිසීමේ රාජස්ථාන් බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කරමින්. තරගයේ වීරයා සම්මානය හිමිවුනේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Devdutt Padikkalටයි.

Punjab Kings – කඩුලු 5ක් දැවී ලකුණු 187 (පන්දුවාර 20): Sam Curran 49*, Jitesh Sharma 44, Shahrukh Khan 41, Atharva Taide 19, Shikhar Dhawan 17, Navdeep Saini 3/40, Adam Zampa 1/26, Trent Boult 1/35.

Rajastan Royals – කඩුලු 6ක් දැවී ලකුණු 189 (පන්දුවාර 19.4): Devdutt Padikkal 51, Yashasvi Jaiswal 50, Shimron Hetmyer 46, Riyan Parag 20, Dhruv Jurel 10*, Kagiso Rabada 2/40, Rahul Chahar 1/28, Nathan Ellis 1/34.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ මේ වන විට Play offs වටයේ ස්ථාන 3ක් වෙනුවෙන් කණ්ඩායම් 6ක් ඉතාමත් ප්‍රබල සටනක නිරත වෙනවා. Gujarat Titans මේ වන විටත් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ඇති අතර Delhi Capitals, Sunrisers Hyderabad සහ Punjab Kings තරගාවලියෙන් සමුගෙන ගොස් අවසන්.

අද IPL තරගාවලියේ තරග ද්විත්වයක් පැවැත්වෙන අතර Chennai Super Kings සහ Delhi Capitals අතර තරගය සවස 3.30ටත්, Kolkata Knight Riders සහ Lucknow Super Giants අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරග දෙක ඇතුළු IPL තරගාවලියේ ඉදිරි තරග සියල්ලම ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා නැරඹිය හැකියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<