Babarගේ අර්ධ ශතක කණ්ඩායමේ තැන රැක ගැනීම වෙනුවෙන් ද?

ICC Cricket World Cup 2023

1145

පාකිස්තාන නායක Babar Azamගේ පිතිකරණය පිළිබඳ සහ ඔහු ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පැමිණීම පිළිබඳ තරමක් විවේචනාත්මක අදහස් පල වෙමින් තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir විසින් මෙවර ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයෙකු ලෙස Babar Azam විසින් දක්ෂතා දක්වනු ඇති බවට අනුමාන කළා.

නමුත් ලෝක කුසලානය ආරම්භ වී සති තුනක පමණ ඇවෑමෙන් Gambhir විසින් ම Babar ලොව අංක එකේ පිතිකරු බවට පත් වුනේ කෙසේ දැයි යන්න ප්‍රශ්න කරන තැනට පත් වී තිබෙනවා.

“ඔබ Babarගේ නායකත්වය සහ පිතිකරණය ගැන කතා කළ යුතුයි. ඔහු අවසන් තරග හයේ දී අර්ධ ශතක තුනක් ලබා ගත්තා. මම දන්නේ නැහැ ඔහු ICC ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පිතිකරු වුනේ ඇයි කියලා. ඔහුට නම ඉදිරියෙන් ශතක 19ක් තියෙනවා. නමුත් වාර්තා සහ ශ්‍රේණිගත කිරීම් ගොඩක් අධිතක්සේරුවකට ලක් වෙලා.

අංක එකේ ක්‍රීඩකයෙක් කියන්නේ ඔබට තරග දිනන්න උදව් කරන කෙනෙක්. ඔහු ගොඩක් ලකුණු රැස් කරලා තිබුණට, තවමත් ඔහු තනිව කණ්ඩායම ජයග්‍රහණය කරවන අන්දමේ ප්‍රබල ඉනිමක් දියත් කරලා නැහැ. ඔහු මේ තරගාවලියේ අර්ධ ශතක තුනක් වාර්තා කරලා තිබුනත්, පාකිස්තානය ලකුණු 300 පසු කළේ එක වතාවක (ඕස්ට්‍රේලියාවට එරෙහිව, ඊට අමතරව ශ්‍රී ලංකාව සමඟ තරගයේ දීත් 300 සීමාව ඉක්මවා ගියා) පමණයි. ඒ තරගයත් ඔවුන් පරාජය වුනා.”

Babar මෙවර ලෝක කුසලානය වෙනුවෙන් දුර්වල ආරම්භයක් ලබා ගත්ත ද පසුව ඔහු අර්ධ ශතක තුනක් ලබා ගනිමින් ලකුණු අතරට පිවිසුණා. නමුත් ඔහු අර්ධ ශතක වාර්තා කළ එකඳු තරගයක් හෝ පාකිස්තාන ජයග්‍රහණය කළේ නැහැ.

මේ අතර Cricbuzz වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ තවත් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන Virender Sehwag විසින් ද Babar පිළිබඳ දරන්නේ මේ හා සමාන අදහසක්.

“ඒවා නරක ඉනිම් නෙවෙයි, පාකිස්තානයේ කඩුලු දෙකක් කලින් බිඳ වැටුණා. ඔහු එක අන්තයක් රැක ගනිමින් කණ්ඩායමට ගොඩ නැගීමට උදව් කළා.

නමුත් ඔහු ලකුණු 50කින් සෑහීමකට පත් වෙනවා ද?

නැහැ, වෙන ඕනෑම අංක තුන පිතිකරුවෙක්ට අවශ්‍ය වෙන්නේ ලකුණු 50 පසුව විශාල ඉනිමක් බවට පරිවර්තනය කරගන්න. ඔහු ඒක කළා නම් පාකිස්තානය ලකුණු 300 ඉක්මවූ ඉනිම්වලින් නතර වෙන්න තිබුණා. එතැනින් තමයි වෙනස ඇති වෙන්නේ.

විශිෂ්ට ක්‍රීඩකයින් එවැනි අවස්ථාවලට යන්න දෙන්නේ නැහැ. Babar Azam තමන්ගේ ක්‍රීඩාව භාවිතා කරන්නේ කණ්ඩායමේ ස්ථානය රැක ගැනීම වෙනුවෙන්.”

අර්ධ ශතකයක් රැස් කිරීමෙන් පසු එය විශාල ඉනිමක් කරා රැගෙන නොයාම Babarගේ විශාලතම වරද බව Sehwag පවසද්දී, හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Mohommad Hafeez විසින් ද Babarගේ මෙම ක්‍රීඩා විලාශය පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ඔහු තවමත් විශිෂ්ට ක්‍රීඩකයකු බවට පත් වී නොමැති බවයි.

“ඔහුගේ දක්ෂතා නරකයි කියලා නෙවෙයි කියන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් ඔහුගේ දක්ෂතා හොඳයි. නමුත් අවාසනාවකට ඔහුගෙන් බලාපොරොත්තු වන දේ සහ ඔහු සමඟ කරන සැසඳීම් සාධාරණ නැහැ. ඔහු ගොඩක් හොඳ ක්‍රීඩකයෙක්. වර්තමානයේ පාකිස්තානයේ ඉන්න ක්‍රීඩකයින් අතරින් ඔහු තමයි හොඳම කෙනා. නමුත් ඔබ ඔහු විශිෂ්ටයින් සමඟ සංසන්දනය කරනවා නම්, ඒක Babarගේ දක්ෂතාවට අසාධාරණයක්.

ඔහුට විශිෂ්ට පාකිස්තාන ක්‍රීඩකයෙක් කියලා පැවසීම ගැන මට ගැටලුවක් තියෙනවා. එහෙම කියන අය සමහර විට ලෝකයේ සහ පාකිස්තානයේ හොඳම ක්‍රීඩකයින් දැකලා නැතුව ඇති.

ඔහු ඉතාම හොඳ ක්‍රීඩකයෙක්. නමුත් තවමත් විශිෂ්ටතමයෙක් නෙවෙයි. ඔහුට ගොඩක් දේවල් ඔප්පු කරන්න තියෙනවා. ඒ වගේම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ තවත් අදියර එන්න තියෙනවා. ඔහු ඒ අදියර කරා ළඟා වෙන්න කලින් අපි ඔහුට ඒ ටැග් එක (ගෞරවය) දෙනවා. එය ඔහුට පීඩනයක්. විශාල තරගාවලිවල දී අපේක්ෂාවන් ගොඩක් ඉහළ තිබිය දී ඔහුට දස්කම් දැක්වීමට නොහැකි වීම නිසා මිනිස්සු එය සමඟ වැරදි විදිහට ගනුදෙනු කරන්න පටන් ගන්නවා.”

Hafeez විසින් Babarට සිදු වී ඇත්තේ කුමක් ද යන්න එසේ පැහැදිලි කරනවා.

එමෙන්ම මේ වන විට Babarගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉතා අවදානම් තත්වයකයි පසුවන්නේ. එම තත්වයෙන් මිදීමට නම් Babarගේ පිත්ත සහ නායකත්වය මීටත් වඩා මුවහත් විය යුතු අතර සංචිතයේ අනෙක් ක්‍රීඩකයින්ට ද මෙම ආගාදයෙන් ගොඩ ඒම වෙනුවෙන් විශාල වගකීමක් පැවරෙනු ඇති.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<