ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයට පෙර

ICC World Cup 2023

1761
ICC World Cup 2023

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 6 වැනි තරගය ඇෆ්ගනිස්තානය සමඟින් හෙට (30) Pune, Maharashtra ක්‍රිකට් සංගම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 30 වැනි තරගයයි.

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා තරග 5ක් බැගින් ක්‍රීඩා කර ඇති අතර ඔවුන් මෙම තරගය සඳහා එක් වෙද්දී සැකසුණ ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය ශ්‍රී ලංකාව සතු වන අතර 7 වැනි ස්ථානය ඇෆ්ගනිස්තානය හිමිකර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (ආබාධයකින් එළියට – ඒ වෙනුවට චාමික කරුණාරත්න), කුසල් මෙන්ඩිස් (නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර (ආබාධයකින් එළියට – ඒ වෙනුවට දුෂ්මන්ත චමීර), දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ (ආබාධයකින් එළියට – ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස්)

ඇෆ්ගනිස්තානය සංචිතය: Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Abdul Rahman, Naveen ul Haq.

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 11ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරන්නේ තරග 3ක් පමණයි. අනෙක් තරගය නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.

ඔවුනොවුන් ලෝක කුසලාන තරගාවලියක දී මෙවර හමුවෙන්නේ තෙවැනි වරටයි. ඊට පෙර නිමා වූ තරග 2 දී ම ජයග්‍රහණ ලබා තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.

මේ අතර ඔවුනොවුන් අවසන් වරට හමු වූ තරග ත්‍රිත්වයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වෙන්නේ පිට පිට පරාජිත තරග ත්‍රිත්වයකින් අනතුරුව වූ තරග දෙක ජයග්‍රහණය කරමිනුයි. ජයග්‍රාහී එම තරග 2 දී ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ සැලකිය යුතු ස්ථානයකට ද සේන්දු වුනා.

ඒ අතරිනුත් විශේෂ ම තරගය වූයේ ආසන්නත ම නිමා වූ එංගලන්ත තරගයයි. එම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් සේ ම පන්දු යවන්නෝ ද එක සේ දක්ෂතා දැක්වීම කැපී පෙනුණ අතර සුවිශේෂී පන්දු රැකීමක් ද දැක බලා ගැනීමට හැකි වුනා.

දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතරින් මේ වන විට වඩාත් විශ්වාසය දිනා සිටින්නේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක. ඔහු මේ දක්වා තමන් සහභාගී වූ අවසන් තරග 4 දී අර්ධ ශතක ලබා ගනිමින් ලකුණු අතරට පිවිස තිබෙනවා. එමෙන් ම ඒ පසුපස ම යමින් සදීර සමරවික්‍රම ද දක්ෂතා දැක් වීම කැපී පෙනෙනවා. ඔහු ද නිමා වූ අවසන් තරග ද්විත්වයේ දී නොදැවුණ අර්ධ ශතක 2ක් රැස් කිරීමට සමත් වෙමින් මෙම විශ්වාසය දිනා ගත්තා.

ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස, ශතක ඉනිමක් වාර්තා කිරීමෙන් පසුව අසාර්ථක ඉනිම් 3ක් නිමා කළ නායක කුසල් මෙන්ඩිස් නැවත ලකුණු අතරට පිවිසිය යුතු මෙන් ම මෙතෙක් දක්ෂතා අතර අතරමං ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද කණ්ඩායම වෙනුවෙන් වහා යමක් කළ යුතුයි.

එමෙන් ම මෙතෙක් තරගාවලිය පුරා එක් අර්ධ ශතකයක් පමණක් ප්‍රදානය කළ කුසල් පෙරේරා ද තමන්ගේ පෙර දක්ෂතා නැවත කණ්ඩායම හමුවේ තැබිය යුතු කාලය පැමිණ ඇතැයි සිතෙනවා.

දිගු කාලයක් තිස්සේ පා ආවරණ පැළඳීමට බලා සිටින දිමුත් කරුණාරත්න ද මෙම සංචිතයේ සිටින බැවින් කුසල් පෙරේරාට නැවත නැවතත් අසාර්ථක විය නොහැකි. එහි අවධානම ඇතැම් විට මෙම තරගයේ දී ම ද සිදු විය හැකි.

නිමා වූ තරගයේ දී ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණු ලහිරු කුමාර ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ම ඉවත් කෙරුණ අතර ඒ වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ තාක්ෂණික කමිටුවේ නිර්දේශය තවත් වේගපන්දු යවන්නෙක් වූ දුෂ්මන්ත චමීරට හිමි වුනා.

ඒ අනුව දුෂ්මන්ත චමීර හෙට තරගයේ දී කණ්ඩායම සමඟ එකතු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි. දකුණතින් වේගපන්දු යවන දුෂ්මන්ත චමීර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 44කට මුහුණ දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 50ක්.

ඔහු මෙවර ලෝක කුසලානය සඳහා එක් වෙන්නේ 2015 වසරේ ලෝක කුසලාන තරගාවලිය හා එක් වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් පෙර තරගයේ දී කණ්ඩායම හා එක් වූ ඇන්ජලෝ මැතිව්ස් යැවූ පන්දුවාර 5 තරගයේ පාලනයට මහත් රුකුලක් වූ බැව් පැවසිය යුතුයි. එබැවින් ම දෝ පෙර තරගවලට වඩා නිමා වූ ආසන්නත ම තරගයේ දී පන්දු යවන්නන්ගේ පිබිදීමක් දුටු අතර එය මෙම තරගයේ දී දැකීම අපගේ බලාපොරොත්තුවයි.

ඇෆ්ගනිස්තානය එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කුසල් පෙරේරා/ දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ෂාන් මදුශංක, දුෂ්මන්ත චමීර

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සූදානම

ඇෆ්ගනිස්තානය මෙම තරගය සඳහා එක් වෙන්නේ ඔවුන් මුහුණ දුන් අවසන් තරගයේ දී ප්‍රබල පාකිස්තානුවන්ට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. එම තරගයේ දී ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ ආරම්භක පිතිකරුවෝ සිව්දෙනාගෙන් තිදෙනෙක් ම අර්ධ ශතක ලබා ගනිමින් ද සහ අනෙක් පිතිකරුවා අර්ධ ශතකයට ලකුණු 2ක් අඩුවෙන් සිටිමින් ද මෙම තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ විශ්වසනීයත්වය මෙම තරගයේ දී ඒ ආකාරයෙන් ම මෙම තරගයේ ප්‍රතිවාදීන් ද බලාපොරොත්තු විය යුතුයි.

එමෙන් ම එම තරගයේ දී ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ පෑ දක්ෂතා ද අමතක කළ නොහැකි. ඔවුන් සෑම තරගයක දී ම තම රිද්මය දිගින් දිගට ම පවත්වා ගෙන ගිය බැවින් මෙම තරගයේ දී ද එවැනි ම වූ දක්ෂතාවක් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලත ම කණ්ඩායම් 2ක් වූ පාකිස්තානය සහ එංගලන්තය පරාජය කරමින් මහත් ආන්දෝලනාත්මක මාතෘකා බිහි කළ කණ්ඩායමක් බවට ප්‍රචලිතයි. ඔවුන් මෙම තරගය සඳහා එක් වෙන්නේ පෙර තරග ජයග්‍රහණයේ උණුසුමත් සමඟින් මෙන් ම විචාරකයන්ගෙන් ද ලැබුණ තරග වෙනස් කළ හැකි කණ්ඩායමක් යන සහතිකයන් ද සහිතවයි.

එබැවින් ඔවුන් මෙම තරගයේ දී ද පෙර ජයග්‍රාහී තරගයට ම ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ ම ඇතුළත් කෙරෙතැයි විශ්වාස කළ හැකි.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම: Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Azmatullah Omarzai, Ikram Alikhil (කඩුලු රකින්නා), Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rahman, Naveen-ul-Haq, Noor Ahmad.

Maharashtra Cricket Association Stadium

2013 වසරේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් මෙම ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා සේ ම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ද එක් වෙන්නේ පළමු වරටයි.

වසර 10ක කාලයක් තිස්සේ එක්දින ජාත්‍යන්තර තරගවලට විවෘත මෙම ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇත්තේ තරග 8ක් පමණක් වන අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශ අතර තරගය ද ඊට ඇතුළත්.

පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය යැයි සැලකෙන මෙම ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කරන්නේ නම් පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වන අතර සුපැහිදිලි කාලගුණ තත්ත්වයක් දවස පුරා පවතින බැව් ද එරට ආරංචි මාර්ග පවසයි.

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ලඟා විය හැකි කඩඉම්

  • මහීෂ් තීක්ෂණ:එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 3ක් පමණයි.
  • ධනංජය ද සිල්වා:එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • සදීර සමරවික්‍රම:එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 90ක් පමණයි.
  • Mujeeb Ur Rahman:එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 3ක් පමණයි.
  • Hashmatullah Shahidi:එක්දින ජාත්‍යන්තර ලකුණු 2000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 57ක් පමණයි.
  • Rashid Khan:මෙතෙක් සහභාගී වී ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 99ක් වන අතර මෙම තරගයට ඔහු සහභාගී වන්නේ නම්, එය ඔහුගේ 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගයයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<