අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් මහතා විසින් හෙළිකෙරුණු පරිදි ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මින් ඉදිරියට නොපැවැත්වීමේ අදහසක් ලෝක ක්‍රිකට් බලධාරීන් සතුව පවතින බැව් වාර්තා වේ. පසුගිය සතියේ පැවති ICC ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණේ ඉන්දියාව හා පාකිස්තානය අතරයි.

2017 ශූරයන්ගේ කුසලාන තරගාවලිය අවසන් වී සතියක්වත් ගතවීමට මත්තෙන් මෙවන් අදහසක් ගැන පුවතක් ප්‍රචාරය වීම ක්‍රිකට් ලෝලීන්ට පුදුමය දනවන්නක් වූවත් වාර්තා වන අන්දමට මින් සිදුකෙරෙන්නේ සෑම දෙවසරකටම වරක් විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට ඉඩ විවර කිරීම යැයි ඔවුන් පවසයි. තවත් බලධාරීන් පිරිසක් පවසන්නේ කණ්ඩායම් 8ක් පමණක් සම්බන්ධ කොටගෙන පවත්වන ශූරයන්ගේ කුසලාන තරගාවලියකට වඩා 2019 වසරේදී කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පවත්වන තරගාවලියක් කෙරේ අවධානය යොමුකරන බවයි.

රිචඩ්සන් මහතාගේ අදහස් දැක්වීමකට අනුව ගෝලීය ක්‍රිකට් තරගාවලිවල ප්‍රතිසංධානගත කිරීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි අතර 2021 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය අනිවාර්යයෙන්ම පැවැත්වේද යන්න පිළිබඳ සැකයක් පවතියි.

“තරගාවලියෙන් තරගාවලිය අප වෙනස් අයුරින් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ එක් එක් ඉසව්ව වෙත වෙන වෙනම ප්‍රේක්ෂකාකර්ෂණය දිනාදීමයි.” රිචඩ්සන් මහතා ICC වාර්ෂික සමුළුව අතරතුරදී ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ එසේ පවසා තිබිණි.

“මේ මොහොත වන විට 2021 වසරේ ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. එය වෙනස් වුණොත් වසර හතරක් තුළදී පැවැත්වෙන විස්සයි-විස්ස තරගාවලි දෙකක් පැවැත්වීමට හෝ ශූරයන්ගේ කුසලාන තරගාවලිය විස්සයි-විස්ස ලෝක ශූරතාවයක් ලෙස පැවැත්වීම ගැන සැලකිල්ල දක්වනවා.” ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

විස්සයි-විස්ස තරගාවලි සඳහා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවන නිසා රූපවාහිනී විකාශන ආයතන වෙතද විශාල මුදල් සම්භාරයක් ගලා එන බව රිචඩ්සන් මහතාගේ අදහසයි. ඉන් කණ්ඩායම් වැඩි ප්‍රමාණයකට අවස්ථාව සැලසිය හැකි බවද, ආසන්න වශයෙන් කණ්ඩායම් 20ක් පමණ සහභාගී වන විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියක් ගැන සැලකිල්ල යොමුකරන බවද ඔහු කීය.

“කණ්ඩායම් 16ක් හෝ 20ක් සහභාගී වන විස්සයි-විස්ස තරගාවලියක් දැකගැනීමට තමයි අපි වඩාත් කැමති. කණ්ඩායම් 10ක් සහභාගී වන ලෝක කුසලාන තරගාවලියකදී අපට තරගකාරී බව සහ තරගාවලියේ මට්ටම ඉහළ නංවාගත හැකියි. නමුත් ඕවර 50 තරගාවලි දෙකක් පැවැත්වීම නම් ඉදිරියට අවශ්‍ය වෙන්නේ නැතිවේවි.” ඔහු එසේද අදහස් දැක්වීය.

ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය යන කණ්ඩායම් දෙකට ටෙස්ට් වරම් ලබාදිය යුතුදැයි තීරණය කිරීමට ඔවුන් අද (20) ලන්ඩනයේදී රැස්වන අතර එහි තීරණය ලබන බ්‍රහස්පතින්දා වනවිට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට