2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක් ශ්‍රී ලංකා දක්ෂතා

Asian Games 2023

8096

මේ දිනවල චීනයේ Hangzhou හිදි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට ඇතුළත් වීමට ශ්‍රී ලංකාව ඊයේ (25) දිනයේ දී සමත් වුනා.

කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමත් සමඟින් පදක්කම් සටහනට එක් වූ ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් සටහනේ 20 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. එමෙන්ම මෙසේ ආසියානු ක්‍රීඩා උළෙලක පදක්කම් සටහනට එක් වීමට ශ්‍රී ලංකාව වරම් ලබා ගත්තේ 2014 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්. 

තරගාවලියේ දෙවැනි දිනය (නිල වශයෙන් ආරම්භ වීමෙන් පසු) වූ ඊයේ සහ තෙවැනි දිනය වන අද (26) දිනයේත් ශ්‍රී ලාංකික ක්‍රීඩක/ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තරග බිමට පිවිසුණා. 

මේ අතරින් ඊයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයට අමතරව ශ්‍රී ලංකාවේ අකලංක පීරිස් විසින් මීටර් 50 පසුපස ආර ඉසව්ව නියෝජනය කරමින් නව ජාතික වාර්තාවක් (තත්පර 26.01) පිහිටුවීමට සමත් වුනා.

ඊට අමතරව ගංගා සෙනෙවිරත්න සහ මැතිව් අබේසිංහ යන අය ද ඊයේ පිහිනුම් ඉසව්වලින් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නමුත් ඔවුන්ට අවසන් මහා තරග වෙත සුදුසුකම් ලබා ගැනීමට අවකාශයක් හිමි වුනේ නැහැ. එමෙන්ම අද උදෑසන ද ගංගා සෙනෙවිරත්න විසින් කාන්තා මීටර් 200 පසුපස ආර මූලික වටයේ තරගයකට සහභාගී වුනා. එහි දී ඇයට හිමි වුනේ 5 වැනි ස්ථානයයි. 

ඊට අමතරව ඊයේ දිනයේ දී ටයිකොන්ඩෝ ඉසව්ව නියෝජනය කරමින් පිරිමි 58Kg බර පන්තිය යටතේ තරග කළ චලින්ද ලියනගේ ක්‍රීඩකයින් 32 දෙනාගේ තරග වටයෙන් ජයග්‍රහණයක් ලබා ගත් නමුත් ක්‍රීඩකයින් 16 දෙනාගේ තරග වටයෙන් පරාජයට පත් වුනා. 

එමෙන්ම ඊයේ දිනයේ සහ අද දිනයේ දී Sailing සහ Rowing ඉසව්වලින් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

කෙසේ වෙතත් රග්බි ඉසව්ව වෙනුවෙන් ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 9 සිට 13 තෙක් ස්ථාන තෝරා ගැනීමේ තරග සඳහා ඊයේ සහ අද සහභාගී වුනා.

එම තරගවල දී ඊයේ ඔවුන් පිලිපීන කණ්ඩායම 21-12ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර අද උදෑසන නේපාලයට එරෙහිව ලකුණු 68-0ක දැවැන්ත ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වුනා. 

නමුත් පසුව ඔවුන් තායිලන්තය සමඟ ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 7-10ක තියුණු පරාජයක් හිමි කර ගත්තා. 

මේ අතර පිරිමි චෙස් ඉසව්වට සහභාගී වන ශ්‍රී ලංකාවේ සුසල් තේජ්වාන් මේ වන විටත් සිය ඉසව්වට සහභාගී වෙමින් සිටින අතර ඔහුගේ ඉසව්වේ අවසන් වට ද්විත්වය හෙට (27) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. 

ඔහු ඊයේ දිනයේ ක්‍රීඩා කළ තරග වට දෙකෙන් පළමු වටය චීන ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුනත්, පසු වටයේ දී තායිලන්තය ක්‍රීඩකයෙකු ව පරාජය කිරීමට සමත් වුනා. අද උදෑසන පැවැත්වුණු තරග වටයේ දී ඔහු වියට්නාම් ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුනා. (ඉසව්ව තරග වට 9කින් සමන්විතයි.) 

මේ අතර අද දිනයේ දී පැවැත්වුණු පිරිමි රිද්මයානුකූල ජිම්නාස්ටික් අවසන් තරගය නියෝජනය කළ නදිල නෙත්විරු ලකුණු 71.065ක් සමඟින් 17 වැනි ස්ථානයට හිමි වුනා. 

මීට අමතරව අද සවස් වරුවේ දී සුසල් තේජ්වාන් විසින් පිරිමි චෙස් ඉසව්වේ තවත් තරග වටයකට සහභාගී වීමට නියමිතයි. එමෙන්ම පිරිමි බොක්සිං 51-57Kg බර පන්තිය නියෝජනය කරන රුක්මල් ප්‍රසන්න බංග්ලාදේශ ක්‍රීඩකයකු සමඟින් ක්‍රීඩකයින් 32 දෙනාගේ තරග වටය ක්‍රීඩා කිරීමට ද නියමිතයි. 

මෙතෙක් පැවැත්වුණු 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ ඉසව් අනුව රන් පදක්කම් 46ක් සමඟින් චීනය කිසිදු අභියෝගයකින් තොරව පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී, රන් පදක්කම් 13ක් සමඟින් දකුණු කොරියාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

මේ අතර ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් ලෙස හඳුන්වා දිය හැකි පිරිමි ක්‍රිකට් ඉසව්ව හෙට (27) ආරම්භ වීමට නියමිතයි. නමුත් දැනටමත් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකාවේ පළමු තරගය පැවැත්වීමට නියමිත වන්නේ ලබන මස 04 වැනිදායි. 

2023 ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<