ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය අදින් ආරම්භ වීමට නියමිතයි. පළමු වටය අවසන් වන විට තරගාවලිය ඉතා විවෘත සහ තියුණු සටනක් බවට පත්ව තිබුනේ ශූරතාව සඳහා වන සටනේ ජයග්‍රහණය සඳහා කණ්ඩායම් කිහිපයකටම අවස්තාව සහ බලාපොරොත්තු ඉතිරි කරමිනුයි.

මහනුවර ක්‍රීඩකයින් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ අපරාජිත වාර්තාව බිඳ දමයි

2016/17 තරග සටහනේ පළමු අදියර තුල වඩාත් උද්වේගකර තරගයක් ලෙසත්, කණ්ඩායම් ද්විත්වයටම තම අභිමානය ආරක්ෂා කර ගැනීමේ සටනක් ලෙසත්, ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයකට ලක් වූ මහනුවර ක්‍රීඩා සමාජයත්, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයත්, අතර තරගය අද (18) නිත්තවෙලදී නිමාවට පත් විය.

පළමු වටය තුලදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය එහි අවසන් කණ්ඩායම වන CH&FC කණ්ඩායම සමග දෙවන වටය අරඹමින් අද (29) තරග බිමට පිවිසෙන අතර 8 වන සති අන්තයේ තරග අවසන් වන්නේ මහනුවර සහ යුධ හමුදා කණ්ඩායම් අතර නිත්තවෙල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයෙනුයි.

  • CH&FC සහ හැව්ලොක් අතර තරගය
  • දිනය  – දෙසැම්බර් 29 වන බ්‍රහස්පතින්දා
  • වෙලාව – ප.ව. 4.00
  • ස්ථානය – තුරග තරග රග්බි ක්‍රීඩාංගනය – කොළඹ 7

පළමු වටයේ සති 6ක් පුරා රැකගත් අපරාජිත බව අවසන් සති අන්තයේදී අහිමි කරගත් හැව්ලොක් ක්‍රීඩකයන් මෙවර තරගාවලියේ පහසුම ප්‍රතිවාදීන් සමග ගැටුමේදී තම ජයග්‍රාහී මාවතට යලි පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

පළමු වටයේ ප්‍රතිඵලය

හැව්ලොක්  48 – 05 CH & FC (හැව්ලොක් ක්‍රීඩාංගනයේදී).

අවධානය යොමු වන ක්‍රීඩකයන්

කණ්ඩායමේ දක්ෂතා අවම මට්ටමක පැවතුනද, කසුන් ශ්‍රීනාත් සහ විශ්ව දිනෙත් CH&FC කණ්ඩායම වෙනුවෙන් ඉහල දක්ෂතා අතර සිටි ක්‍රීඩකයන් වන අතර දෙවන වටයේදී ද එම දස්කම් CH කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

පළමු වටයේදී එක් උත්සාහක දිනුමක් පමණක් වාර්තා කලද විශිෂ්ට තරග රටාවක් පෙන්නුම් කරන ෂාරෝ ප්‍රනාන්දු හැව්ලොක් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන අතර මේ වන විට ලකුණු 92ක් තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගෙන සිටින දුලාජ් පෙරේරා එම ලකුණු එකතුව තවත් ඉහල දමා ගැනීමේ අරමුණින් දෙවන වටයට එක්ව සිටියි.

  • නාවික හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ අතර තරගය
  • දිනය – දෙසැම්බර් 30 වන සිකුරාදා
  • වෙලාව – ප. ව. 4.00
  • ස්ථානය – නාවික හමුදා ක්‍රීඩාංගනය – වැලිසර

තම සත්කාරක ක්‍රීඩාංගනයේ වාසිය සහිතව ක්‍රීඩා කරන නාවිකයන් මෙම තරගයේදී ඉහල දස්කම් බලාපොරොත්තුවෙන් සිටින්නේ හැව්ලොක් සහ මහනුවර කණ්ඩායම් වලින් එල්ල වන අභියෝගයට මුහුණ දීම සඳහා විශාල ජයග්‍රහණ තුලින් වැඩි වාසියක් ලැබීම හේතුවෙනුයි. මේ අතර පළමු වටයේදී එක් ජයග්‍රහණයකින් පමණක් සැහීමකට පත්වීමට සිදුවූ පොලිස් කණ්ඩායම තම දක්ෂතා වර්ධනය කරගැනීමට වැඩි උත්සාහයක නිරත වනු ඇති.

පළමු වටයේ ප්‍රතිඵලය

පොලිස් ක්‍රී.ස. 08 – 29 නාවික හමුදා ක්‍රී.ස. (බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී)

අවධානය යොමු වන ක්‍රීඩකයන්

පසුගිය වසරේ වැඩිම ලකුණු ලාභියා වූ තිලින වීරසිංහ හට මෙවර තරග වාරයේදී තවමත් සුපුරුදු රිද්මයට පිවිසීමට නොහැකි වුවත් නාවික හමුදා කණ්ඩායමේ ඉදිරි ගමන සඳහා ඔහුගේ දායකත්වය ඉතා වැදගත් වන අතර මේ වන විට උත්සාහක දිනුම් 6කට හිමිකම් කියන දුලංජන විජේසිංහ නාවික හමුදා කණ්ඩායමේ අතිශය වැදගත් වගකීමක් ඉටු කරන ක්‍රීඩකයෙකි.

රදීෂ සෙනෙවිරත්න තරග වාර ගණනාවක් පුරා පොලිස් කණ්ඩායමේ බර උසුලාගෙන ගියාක් මෙන් මෙම තරග වාරයේදීද එම වගකීම ඉටු කල අතලොස්සක් ක්‍රීඩකයන් අතරින් අයෙකි. එමෙන්ම පොලිස් පසුපෙළ ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ එකම ක්‍රීඩකයා වන රජිත සන්සෝනි පොලිස් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල දමන්නට සමත්කම් දක්වයි.

  • ගුවන් හමුදා සහ CR&FC ක්‍රීඩා සමාජ අතර තරගය
  • දිනය – දෙසැම්බර් 30 වන සිකුරාදා
  • වෙලාව – ප. ව. 4.00
  • ස්ථානය – ගුවන් හමුදා ක්‍රීඩාංගනය – රත්මලාන

පළමු වටයේ අවසන් තරගයේදී බොහෝ දෙනා බලාපොරොත්තු වූ අයුරින් නාවික හමුදාවට ප්‍රබල සටනක් දෙන්නට අසමත් වුවත් පළමු වටයේ පෙරලිකරුවන් වූ ගුවන් හමුදාව දෙවන වටයේදී තම දක්ෂතා වැඩි දියුණු කරගනිමින් CR&FC කණ්ඩායමට අභියෝගයක් වීමේ අරමුණ ඇතිව මෙම සති අන්තයේදී තරග බිමට පිවිසෙනු ඇත.

පළමු වටයේ ප්‍රතිඵලය

CR&FC 57-20 ගුවන් හමුදාව (ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගනය)

අවධානය යොමු වන ක්‍රීඩකයන්

වරින් වර සුපිරි දස්කම් ප්‍රදර්ශනය කල ගයන්ත ඉද්දමල්ගොඩ තම දක්ෂතා ස්ථාවර මට්ටමකට වර්ධනය කර ගැනීම ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුවක් වනු ඇති අතර ජාතික කණ්ඩායමේ වගකීම් අවසන් කර නැවත ගුවන් හමුදා කණ්ඩායම සමගින් එක්ව සිටින යොවුන් ක්‍රීඩක අශෝක් විජේකුමාර් ද කණ්ඩායමේ ශක්තිය වර්ධනය කරන ප්‍රධාන සාධකයකි.

ෆ්ලයි හාෆ් සිට සෙන්ටර් ස්ථානය දක්වා ලද මාරුවෙන් පසු උත්සාහක දිනුම් යන්ත්‍රයක් බවට පත්ව සිටින තරින්ද රත්වත්ත වැඩිම ලකුණු ලාභීන්ගේ ලයිස්තුවේ තවත් ඉහලට ගමන් කිරීමේ උත්සාහයක නිරත වන්නේ තම කණ්ඩායමද ශූරතා ලකුණු සටහනේ ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිවයි. CR නායක ෂේන් සම්මන්දපෙරුම පළමු වටයේදී මෙන්ම මෙම වටයෙදීද තම කණ්ඩායම මනාව හසුරුවමින් ජයග්‍රහණ වෙත ලඟා වීමේ පෙරගමන්කරුවකු බවට පත්වනු ඇති බව බොහෝදෙනාගේ විශ්වාසයයි.

  • මහනුවර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය
  • දිනය – දෙසැම්බර් 31 වන සෙනසුරාදා
  • වෙලාව – ප. ව. 4.00
  • ස්ථානය – නිත්තවෙල ක්‍රීඩාංගනය – මහනුවර

මෙම තරග වටය මහනුවර ක්‍රීඩා සමාජයට අතිශය වැදගත් වන්නේ තම ශූරතා කුසලානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට නම් මෙම වටයේ සියලුම තරග පාහේ ජය ගැනීම ඔවුන්ට අනිවාර්ය අභියෝගයක් බවට පත්ව තිබීම හේතුවෙනුයි. පළමු වටයේ තරග හතෙන් 5 ක් පරාජය වුවත් ප්‍රබල මහනුවර කණ්ඩායමේ ඉදිරි ගමනට බාධකයක් වීම යුධ හමුදා කණ්ඩායමේ අරමුණ වනු ඇත.

පළමු වටයේ ප්‍රතිඵලය

යුද හමුදා ක්‍රී. ස. 10 – 34 මහනුවර ක්‍රී. ස. (තුරග තරග රග්බි ක්‍රීඩාංගනය)

අවධානය යොමු වන ක්‍රීඩකයන්

මෙම තරග වාරයේදී මහනුවර කණ්ඩායම සමග එක්වූ ධනුෂ්ක රන්ජන් තම නව කණ්ඩායම වෙනුවෙන් මැනවින් වගකීම් ඉටු කරමින් සිටින අතර පළමු වටයේ වාර්තා කල උත්සාහක දිනුම් 8 තවත් ඉහලට ගෙනයාම වෙනුවෙන් ඔහු වෙහෙසෙනු ඇත. එමෙන්ම වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන රිචඩ් ධර්මපාල ද, සුපිරි තරග රටාවක පසුවන ක්‍රීඩකයෙකු වීම මහනුවර කණ්ඩායමේ සැනසීමට හේතුවකි.

හිටපු නායක අශෝක ජයලාල් සහ වත්මන් නායක මනෝජ් සිල්වා, ජයග්‍රහණ දෙකකින් පමණක් වර්ණවත් වූ යුධ හමුදා කණ්ඩායමේ පළමු වටය තුල කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහල ස්ථානයක් කරා යාම සඳහා මෙම වටයේදී ඔවුන්ගේ දස්කම් තවත් වර්ධනය කරගත යුතුව තිබේ