නව නායක Shakib යටතේ බංග්ලාදේශ ආසියානු කුසලාන සංචිතය නම් කරයි!

Asia Cup 2023

3227

එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් Shakib Al Hasanගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට බංගලාදේශ ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගෙන තිබෙනවා. 

පසුගිය අගෝස්තු මස 03 වැනි දා Tamim Iqbal විසින් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව ඇති වුනු පුරප්පාඩුව පිරවීම සඳහා Shakib Al Hasan රැගෙන ඒමට බංග්ලාදේශය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර ඇති බව මීට පෙර වාර්තා වුනා. 

නමුත් ඊයේ (11) දිනය වන තෙක් ඒ සම්බන්ධයෙන් නිල දැනුම් දීමක් සිදු නොවුනු අතර, ඊයේ දිනයේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Nazmul Hasan විසින් Shakib බංග්ලාදේශ සීමිත පන්දුවාර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාර ගනු ඇති බව තහවුරු කළා. 

“අපි ආසියානු කුසලානය සහ ලෝක කුසලානය වෙනුවෙන් Shakib නායකයා ලෙස පත් කළා. ලෝක කුසලාන සහ ආසියානු කුසලාන සංචිතය හෙට (අද) නිවේදනය කරා වී. ඔවුන් ක්‍රීඩකයින් 17 දෙනෙකු තෝරා ගනී වී.” 

Nazmul විසින් ඊයේ දිනයේ සඳහන් කළ ලෙස ම අද උදෑසන එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශය සිය ක්‍රීඩක සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

Shakib Al Hasan (නායක), Litton Das, Tanzid Tamim, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Sheikh Mahedi, Nasum Ahmed, Shamim Hossain, Afif Hossain, Shoriful Islam, Ebadot Hossain, Mohammad Naim 

එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ මෙම සංචිතය සඳහා හිටපු නායක මෙන්ම, නිත්‍ය ආරම්භක පිතිකරු Tamim Iqbalගේ නම ඇතුළත් වී නැහැ. Tamim මේ වන විට පිට කොන්දේ ආබාධයකින් පීඩා විඳිමින් සිටින අතර, එම නිසා ඔහු මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ. 

ඔහුගේ ආබාධ තත්වයේ සුව වීම අනුව එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ඔහු සහභාගී වනවා ද නැති ද යන්න ඉදිරියේ දී තීරණය වනු ඇති. 

මේ අතර බංගලාදේශ එක්දින නායකත්වය හිමි වූ Shakib Al Hasan ලෝක කුසලානය වන තෙක් අනිවාර්යයෙන් ම කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති බවත් ඊයේ Nazmul විසින් තහවුරු කර තිබුණා. 

“දිගු කාලීන නායකත්වය ගැන අපි ඔහු සමඟ කතා කලේ නැහැ. ඔහු නැවත පැමිණීමෙන් පසු (LPL තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් පසු) අපිට ඒ ගැන කියන්න පුළුවන්. 

නමුත් අපි තීරණය කරලා තියෙන දේ තමයි ලෝක කුසලානය වෙනකම් ඔහු ක්‍රීඩා කරනවා සහ ඒ වෙනකම් නායකයා වෙන්නේ Shakib කියන එක. 

ඔහු දිගු කලක් සියලු තරග ආකෘති වෙනුවෙන් නායකත්වය ලබා දෙයි ද, නැතිනම් කුමන ආකෘතියකින් ඉවත් වෙයි ද (නායකත්වය දැරීමෙන්) කියන තීරණය ඔහු නැවත පැමිණි පසු ඔහු සමඟ කතා කර තීරණය කරනවා.” 

ඒ අනුව මේ වන විට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටා තුනේ ම බංගලාදේශ නායකයා ලෙස කටයුතු කිරීමේ වගකීම Shakib Al Hasan හට හිමි වී තිබෙනවා. 

මේ අතර කණ්ඩායමේ උප නායකත්වය Linton Das හට හිමි වන බව තහවුරු කරන Nazmul වැඩිදුරටත් සඳහන් කර තිබුණේ Shakib Al Hasanගේ ඉදිරි තීරණ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය වෙනස් වනවා නම් ඒ වෙනුවෙන් Linton Das හෝ Mehidy Hasan යන අයගේ නම් වලට වැඩි ප්‍රමුඛතාවක් හිමි වනු ඇති බවයි. 

නව නායක Shakib යටතේ බංගලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් මෙම මස 31 පල්ලෙකැලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. 

ආසියානු කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<