රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ආදරවන්තයන්ගේ කුසලානය රැක ගනී

Battle of the Lovers

90

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 38ක ජයක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (23) සමත් වූවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ඉනිම අතරමග දී වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය නතර කෙරුණ අතර නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දුවාර 45ක දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 220ක අභියෝගයක් ලැබෙමින්. නමුත් තරගය අවසන් වීමට තවත් පන්දු 17ක් ඉතිරි ව තිබිය දී ඔවුන් ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 181ක් පමණයි.

රිච්මන්ඩ් විද්‍යාලය පසුගිය වසරේ දී ද ආදරවන්තයන්ගේ එක්දින කුසලානයේ හිමිකරුවන් වූවා.

Battle of the Lovers, Limited Over, ගාල්ල, 23 මාර්තු 2024

o කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල.

මෙම තරගයේ දී වාර්ෂික දෙදින මහා ක්‍රිකට් තරගය නියෝජනය කළ ක්‍රීඩකයෙක් බැගින් කණ්ඩායම් 2න් ඉවත් කර තරගයට පිවිසීමට දෙවිදුහල් ම තීරණය කර තිබුණා.  ඒ අනුව මහින්ද විද්‍යාලයෙන් සදෙව් නෙත්මිණ වෙනුවට සහන්ජිත් සමාදිත් ද රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් මලිත් ද සිල්වා වෙනුවට මිනග ආරියදාස ද එක් කර තිබුණා.

මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), තරුෂ ඩිල්ශාන්, චන්දුප ද සිල්වා, ප්‍රමේෂ් මදුභාෂණ, හරීන් අචින්ත (කඩුලු රකින්නා), කවීන් රුක්ෂාන්, අරෝෂ උදයංග, දෙනෙත් කෞෂල්‍ය, සෙනුක දංගමුව, දුලාශ් දර්ශන, සහන්ජිත් සමාදිත්.

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – මල්ෂ තරුපති (නායක), ශාරොන් අභිශේක්, චෙහාන් සුබසිංහ (කඩුලු රකින්නා), නිකිල් ජයවීර, තමිඳු ප්‍රදීප්ත, ෂෙහාන් ද සොයිසා, කවීෂ ඉඳුවර, සෙනෙත් සිසාන්, සිහත් රාමනායක, යූරි කොත්තිගොඩ, මිනග ආරියදාස.

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුට පහර දීමට පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලය පළමු කඩුල්ලේ සිට ම තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ කාර්යයේ නිරත වූවා. ඒ අනුව ඔවුන් තමන්ට හිමි පන්දුවාර 50 අවසන් කරන්නේ කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 238ක් ලබා ගනිමිනුයි.

එම ඉනිම ඒ තරමින් පෝෂණය වෙද්දී ඊට පෙරමුණ ගත්තේ ආරම්භක පිතිකරුවන් වූ චෙහාන් සුබසිංහ සහ නිකිල් ජයවීරයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 141ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව චෙහාන් සුබසිංහ ගේ දැවී යෑමත් සමඟින් බිඳී යද්දී ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.

මහින්ද විද්‍යාලයේ සිට මෙම තරග සමයේ දී රිච්මන්ඩ් විද්‍යාලයට පිවිසි නිකිල් ජයවීර තම පෙර ගිය පාසලට එරෙහි ව අර්ධ ශතක ඉනිමක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක මල්ෂ තරුපති වේගවත් ඉනිමක නිරත වෙමින් පන්දු 14ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

මල්ෂ තරුපති සහ තමිඳු ප්‍රදීප්ත තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19ක දී ලකුණු 39ක සබඳතාවක් එක් කළා. තමිඳු ප්‍රදීප්ත පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

රිච්මන්ඩ් ඉනිම ගොඩ නැගීමේ දී ශාරොන් අභිශේක් ද පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ අරෝෂ උදයංග ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව කවීෂ රුක්ෂාන් සහ තරුෂ ඩිල්ශාන් කඩුලු 2ක් බැගින් ද සහ නායක දිනුර කළුපහන කඩුල්ලක් ද දවා ගත්තා.

රිච්මන්ඩ් විද්‍යාලය ලබා දුන් අභියෝගය හඹා යෑමට මහින්දයන් වෙනුවෙන් පළමුවෙන් ම පිටියට පිවිසියේ තරුෂ ඩිල්ශාන් සහ නායක දිනුර කළුපහන යි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 32ක සබඳතාවක් එක් කරද්දී දිනුර කළුපහනගේ ඉනිම අවසන් කරමින් පළමු කඩුල්ලේ ද සබඳතාව අවසන් කිරීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් වූවා.

ඒ වෙද්දී දිනුර කළුපහන පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 19ක් ලබා සිටියා.

එම කඩුල්ලෙන් පසුව පිටියට පිවිසියේ ප්‍රමේෂ් මධුභාෂණ. ඔහු සහ තරුෂ ඩිල්ශාන් දෙවැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 45ක් එක් කරද්දී එම සබඳතාව බිඳ දැමුවේ රිච්මන්ඩ් නායක මල්ෂ තරුපති. ප්‍රමේෂ් මධුභාෂණ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී ඊට ගොදුරු වූවා.

අනතුරුව යැවුණ පන්දුවේ දී හරීන් අචින්ත පළමු පන්දුවෙන් ම දවා ගැනීමට මල්ෂ තරුපති සමත් වූවා. ඊළඟ පන්දු වාරයේ දී දුල්සිත් දර්ශන (2) ආ විගස ම දවා ගැනීමට ශාරොන් අභිශේක් සමත් වීමත් සමඟින් මහින්ද ඉනිමේ ලකුණු ලබා ගැනීමේ රිද්ම ද වැටුණා.

ඔවුන්ට යම් තරමක හෝ සහනයක් වූයේ ආරම්භක පිතිකරු තරුෂ ඩිල්ශාන් පිටියේ රැදී සිටීමයි. ඔහු තම අර්ධ ශතකය ලබා ගත් වහා ම වර්ෂාව පතිත විම හේතුවෙන් තරගය මදකට නතර වූ අතර ඒ වෙද්දී මහින්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 126ක් ලබා තිබුණා.

කෙසේ වෙතත් තරගය නැවත ආරම්භ වෙන්නේ පන්දුවාර 45ක තරගයක් ලෙසයි. ඒ අනුව එතැන් සිට ඔවුන්ගේ ඉලක්කය ලකුණු 220ක් බවට පත් වුනා.

නමුත් තරගය ආරම්භ වී දෙවැනි පන්දු වාරයේ දී එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ තරුෂ ඩිල්ශාන් ආබාධයකට ලක් වෙමින් පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 95කට මුහුණ දෙමින් ලකුණු 57ක් ලබා සිටියා.

තරුෂ පිටියෙන් ඉවත් වෙද්දී 5 වැනි කඩුල්ලට ඔහු සහ චන්දූප ද සිල්වා එක් ව ලකුණු 55ක සබඳතාවක් එක් කර තිබීම ද පැසසිය යුතුයි.

ඔහු නැවත පිටියට පිවිසෙන්නේ 7 වැනි කඩුල්ලට ද අහිමි වූ පසුවයි. ඒ වෙද්දී මහින්ද ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 160 නතර වී තිබුණි. ඔහු ඉනිමට තවත් ලකුණු 12ක් එක් වෙද්දී 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.

එතැන් සිට මහින්ද විද්‍යාලයීය ඉනිම ගොඩ ගැනීමේ කිසිදු අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ අනුව ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී යූරි කොත්තිගොඩ පන්දු 13ක් පමණක් යවමින් ලකුණු 14කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව නායක මල්ෂ තරුපති ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත් අතර ශාරොන් අභිශේක් සහ කවීෂ ඉඳුවර කඩුල්ලක් බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 9ක් දැවී 239 (50.0) චෙහාන් සුබසිංහ 54, නිකිල් ජයවීර 50, තමිඳු ප්‍රදීප්ත 22, මල්ෂ තරුපති 31, ශාරොන් අභිශේක් 21, තරුෂ ඩිල්ශාන් 2/48, කවීන් රුක්ෂාන් 2/36, අරෝෂ උදයංග 4/41

මහින්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 181 (42.1) තරුෂ ඩිල්ශාන් 65, දිනුර කළුපහන 19, ප්‍රමේෂ් මධුභාෂණ 22, චන්දූප ද සිල්වා 34, මල්ෂ තරුපති 3/41, යූරී කොත්තිගොඩ 5/14

රිච්මන්ඩ් විද්‍යාලයට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය මත ලකුණු 38ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – දිනුර කළුපහන (මහින්ද විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – යූරි කොත්තිගොඩ (රිච්මන්ඩ් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – තරුෂ ඩිල්ශාන් (මහින්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – මල්ෂ තරුපති (රිච්මන්ඩ් විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<