2022 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට දින තීන්දුයි

189
ICC

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය 15 වැනිදා 2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කළා. තරගාවලිය 2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුනත්, පවතින COVID-19 වාතාවරණය හමුවේ එම තරගාවලිය 2022 දක්වා කල් ගියා. 

තරගාවලිය 2022 වසරේ මාර්තු 4 වැනිදා නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය අප්‍රේල් 3 වැනිදා Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.  

කණ්ඩායම් අටක් තරගාවලියට එක් වීමට නියමිත අතර නගර හයක් පුරා තරග 31ක් පැවැත්වීමට නියමිතයි. Auckland, Hamilton, Tauranga, Wellington, Christchurch හා Dunedin තරග පැවැත්වෙන නගර වේ. අවසන් පූර්ව තරග Hagley Oval හා  Basin Reserve ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව මේ වන විටත් ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා. ඉතිරි කණ්ඩායම් තුන තෝරා ගැනෙන්නේ 2021 වසරේ ජුනි 26 සිට ජූලි 10 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ICC සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් අනතුරුවයි.

තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක නවසීලන්තය හා සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ලෝක කුසලානයට එක්වන කණ්ඩායමක් අතරයි.

තවත් ක්‍රිකට් පුවත්: 

“ICCය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නගා සිටුවන්න දිර්ඝකාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා” ICC ප්‍රධාන විධායක නිලධාරි Manu Sawhney පවසා තිබුණා. “අපි ගොඩක් ආඩම්බරයි අපිට අත්කරගන්න පුළුවන් වුණු සාර්ථකත්වය ගැන. නවසීලන්තයේ පැවැත්වෙන 2022 ලෝක කුසලානයේ ත්‍යාග මුදල් ලෙස නවසිලන්ත ඩොලර් මිලියන 5.5ක් වෙන් කර තිබෙනවා. ඒ 2017 සාපේක්ෂව 60% හා 2013 වසරට සාපේක්ෂව 100%ක වැඩිවීමක්.” 

Hagley Oval හිදී පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගය හා අවසන් මහා තරගය දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත. Basin Reserve ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ඇතුළු අනෙක් තරග 7 දිවා තරග ලෙස පැවැත්වෙනු ඇත. Dunedin හිදී පැවැත්වෙන තරග තුනත් දිවා තරග ලෙසයි සැලසුම් කර තිබෙන්නේ.  

වත්මන් ලෝක ශූරියන් වන එංගලන්තය, මාර්තු 5 වැනිදා Seddon Park ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව හමුවීමට නියමිතයි. ඔවුන් Bay Oval හි තරග දෙකක් ද, ඉතිරි තරග Dunedin, Basin Reserve, Hagley Oval හා  Seddon Park හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව තරග හතෙන් තුනක් Seddon Park හිදී ක්‍රීඩා කරන අතර පළමු වටයේ ඔවුන් ක්‍රීඩා කරන සියලුම තරග දිවා රාත්‍රී තරග ලෙස සැලසුම් කර තිබෙනවා. 

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<