මම අංක එකට ආවේ මෙහෙමයි – ජස්ප්‍රීත් බුම්රා

3071
images.assettype.com

“තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ 4 ශ්‍රේණියේ.” මෙසේ කියන්නේ දැනට එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 1 හොබවන ජස්ප්‍රීත් බුම්රා ය.

ජාත්‍යන්තරයට පැමිණ කෙටි කලකින්ම ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ ජස්ප්‍රීත් ජස්බිර්සිං බුම්රා එතරම් ඉහළට නගිනු ඇතැයි කිසිවෙකු නොසිතුවත් ඔහුගේ කැපවීම සහ කම්කටොළු දරා ගැනීමේ හැකියාව ඔහුව අද එතැනට ගෙනගොස් ඇත.

අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වක් සමඟින් පන්දු යවන 19 හැවිරිදි බුම්රා මුලින්ම ප්‍රධාන ක්‍රිකට් වේදිකාවකට ආ වර්ෂය 2013 වර්ෂයයි. හයවැනි IPL තරගාවලියේ දී මුල්වරට අප ඔහුව දුටුවත්, ඔහු එතරම් සිතෙහි රැඳෙන පන්දු යවන්නෙකු වූයේ නැත. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හැරෙන්නට ඔහුව මතක හිටින කිසිවක් කිරීමට ඔහුට නොහැකි විය.

එහෙත් 2014 වර්ෂය වන විට ගුජරාටයෙන් බිහිවූ මේ අමුතු වේගපන්දු යවන්නා ඉන්දියානු රුපියල් කෝටි 1.2ක වටිනාකමක් උපයාගෙන තිබුණේ දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් හේතුවෙනි. මුම්බායි ඉන්දියන්ස් ඔහුගේ IPL කණ්ඩායම විය. බුම්රාට ඉදිරියෙන් ලසිත් මාලිංග, මිචෙල් ජොන්සන්, ෂේන් බොන්ඩ් වැනි ලෝක ප්‍රකට පන්දු යවන්නන් මුම්බායි ඉන්දියන්ස් සතුවුවත් බුම්රා සතුවූ විශේෂ සාධකය නම් ඉගෙනීමට ඇති ඇල්මයි. පන්දු යවන්නන් අධ්‍යයනය කිරීමේ උනන්දුවයි.

“මම උඹට උගන්වන්නම්”, ලසිත් මාලිංග සහ ජස්ප්‍රීත් බුම්රා.

ඔහු කාටවත් වැඩිය කතා කරන්නේ නැහැ. ඔහු ලැජ්ජාශීලී කෙනෙක්. ඒත් 2013 දී මම මුලින්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආපු වෙලාවේ ඔහුම ඇවිල්ලා මට කිව්වා මම උඹට උගන්වන්නම්, බය වෙන්න එපාකියලා”

බුම්රාගේ ක්‍රිකට් දිවිය මීළඟ මට්ටමට තල්ලු කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වූ ලසිත් මාලිංග ගැන බුම්රා සිහිකරන්නේ එසේයි.

මම උඹව දැක්කා. උඹට වෙනස් ඇක්ෂන් එකක් තියෙන්නේ. මම උඹට වැඩ ටිකක් උගන්නන්නම්.” යැයි මාලිංග පැවසූ බව ද, එතැන් සිට දෙදෙනාගේ මිතුදම වර්ධනය වූ බවත් බුම්රා WTD වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.

පසුව ලසිත් මාලිංගට ආවේණික පුහුණුවක් වන සපත්තු දෙකක් පිතිකරණ සීමාව මත තබා යෝකර් පන්දු යැවීමේ පුහුණුව බුම්රා ලබාගත්තේය. දිගින් දිගටම පුහුණු වීමෙන් පසුව ඔහු සිතුණු විට යෝකර් පන්දු යැවීමේ හැකියාව ඇතිවිය. IPL වැනි තරගාවලියක දී ඉන්දියානු ආධුනිකයන් ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්නේ එසේය. “මට සියල්ල පුළුවන්” යැයි සිතා මුරුංගා ඇත්තේ නොනගින ඔවුන් ප්‍රවීණයන්ගෙන් ගතහැකි සෑම උපදෙසක්ම ලබාගෙන ඒවා පිළිපදියි.

එතන මිචෙල් ජොන්සනුත් හිටියා. ඔහු මගේ ළමා කාලයේ වීරයෙක්. මම ඔහුව කොපි කරලත් තියෙනවා. ඔහු මගේ ඉස්සරහ පන්දු යවද්දීත් මම හැමවෙලේම බැලුවා ඔහු මොනවද කරන්නේ කියලා.” එය බුම්රාට මහත් පිටිවහලක් විය. එවන් පන්දු යවන්නන් දෙදෙනෙකු අධ්‍යයනය කරමින් ගොඩනැගුණු බුම්රා කෙමෙන් කෙමෙන් අත්හදා බැලීම් සිදු කළේය.

ෂේන් බොන්ඩ් ගැන සිහිකරමින් බුම්රා පවසන්නේ 2016 වසරේ කොන්දේ ඇතිවූ ආබාධයකින් පසුව තමන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන විට ඔහුගෙන් සහාය ලැබුණු බවයි. නවසීලන්ත ජාතික ෂේන් බොන්ඩ් ද ආබාධ රැසකින් පීඩා වින්දෙකු වීම ඊට හේතුවයි.

ඉවසීමෙන් ඉන්න. ඔබ රිද්මයට ඒවි. කාලයක් යාවි. නමුත් ඔබ හොඳට කරාවි.” යනුවෙන් ෂේන් බොන්ඩ් බුම්රාට කියූ බව බුම්රා කියයි.

ඉස්සර නම් මම පිතිකරුවන්ට වෙනම සැලසුම් කළේ නෑ. නමුත් මම ඉගෙන ගත්තා පිතිකරුවන්ට වෙන වෙනම සැලසුම් කරන්න ඕන කියලා. සාර්ථක වෙන්න ඕන නම් සැලසුම් කරන්න ඕන.” එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු යැවීම වෙනස් මට්ටමක පවතින බව බුම්රා සිහිකරයි. එලෙස කළ පළමු සැලසුම සාර්ථක වූ අයුරු ඔහු මෙසේ සිහිකළේය.

පළමු සැලසුම සාර්ථක වේ. ක්‍රිස් ගේල් දැවී යයි.

“2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී මට ක්‍රිස් ගේල්ට පන්දු යවන්න ලැබුණා. IPL එකේ දී නම් මම ඔහුව දවා ගෙන තිබුණේ ස්ලෝ බෝල් දාලා. ලෝක කුසලාන පෙර පුහුණු තරගයකදීත් මම ඔහුව ස්ලෝ බෝලයකින් තමයි දවා ගත්තේ. ඉතින් මම හිතුවා දැන් ඔහු ස්ලෝ බෝල් එකට ලෑස්ති වෙලා ඇති කියලා.”

තරගාවලියේ මැද දී මම හිතුවා මොන වමත් පිතිකරුවා හමුවුනත් මම මුලින්ම යෝකර් පන්දුවක් යවනවා කියලා. ඉතින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අවසන් පූර්ව තරගයට කලිනුත් මම යෝකර් පන්දුව පුහුණු වුනා. පස්සේ මම මගේ පුහුණුකරු භාරතී අරුන්ගෙන් ඇහුවා සර් දැන් මම සෑහෙන්න ප්‍රැක්ටිස් කළා. මේ වැඩේ මම මැච් එකේ දී කරන්න ද?’ කියලා”

ඔව් ඔබ ඒක කරලා බලන්න” යැයි භාරතී අරුන් ඔහුට පවසා තිබේ.

මම හිතුවා මම ඒක කළ යුතුයි කියලා. මොකද, ඒ විකට් එක (ක්‍රිස් ගේල්) ආවොත් ඒක ලොකු විකට් එකක් නිසා. එදා මම යැව්වේ දෙවැනි පන්දු ඕවරය. මම යෝකර් එක යැව්වා. ඒක හරියටම ගියෙත් නෑ. නමුත් දෝලනය වුනා. ඔහු දැවී ගියා. ඒ වෙලාවේ තමයි මම හිතුවේ සැලසුම් කිරීම අත්‍යාවශ්‍යයි කියලා.” මේ එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 1 හොබවන ජස්ප්‍රීත් බුම්රා පවසන දෑ ය.

ජස්ප්‍රීත් බුම්රා කඩුල්ලක් ලබාගනිමින්

පුංචි ළමයි හැමෝම කැමතියි ක්‍රිකට් බලන්න. මම ක්‍රිකට් බලද්දී අනෙක් ළමයි හැමෝම කැමති වුනේ බැටින් බලන්න. මම සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත. මට ඕන වුනේ බෝලින් කරන හැටි බලන්න. ඒකෙනුත් වේගපන්දු යැවීම බලන්න මම බොහොම කැමති වුනා.” පන්දු යැවීමෙන් ලොව පළමුවැන්නා වීමේ පළමු බීජය ඔහු තුළ ජනිතව ඇත්තේ එසේය.

මේ සියල්ලට වඩා සංවේදී ළමාකාලයක අත්දැකීම්ද බුම්රාට ඇත. සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙකු බිහිවීමට දෙමාපියන් ද වගකිවයුතු බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වේ.

තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ 4 ශ්‍රේණියේ. මගේ අම්මා එතන ඉඳන් හැම වගකීමක්ම ගත්තා. ඇය ගුරුවරියක් වුනා. අම්මගේ පාසලේමයි මමත් ඉගෙන ගත්තේ. ඇය මට සාරධර්ම ගැන ගොඩක් කියා දුන්නා. විනයෙන් සහ කැපවීමෙන් යුක්ත විය යුතු බව ඇය හැමවෙලේම කිව්වා.”

අද මම දන්නවා විනය සහ කැපවීම විසින් ජයග්‍රහණ රැගෙන එන බව. මම මුල ඉඳන්ම හරි වෙලාවට අවදි වුනා. ප්‍රැක්ටිස් ගියා. මම මාව දියුණු කරගන්න හැකි හැමදේම කළා. ඒවාට කෙටි ක්‍රම නැහැ.” ඔහු කියයි.

මට තිබුණේ එක ටී ෂර්ට් එකයි, එක ට්‍රැක් බොටම් එකයි. ඒක මං හැමදාම හෝද හෝද තමයි ප්‍රැක්ටිස් ඇන්දේ. ඉරුණු සපත්තු දාගෙන මම ප්‍රැක්ටිස් ගියේ. එක දවසක් අම්මයි අක්කයි එක්ක පාරේ යනකොට ලස්සන සපත්තු තියෙන කඩයක් දැකලා මම අම්මට කිව්වා දේ මට තාම මතකයි.”

මම කවදා හරි ලොකුවුණහම දෙපාරක් හිතන්නැතුව මෙතනින් ඕනම සපත්තුවක් ගන්න මට පුළුවන් වෙයි.” කුඩා කල තම මවට මෙසේ කියූ බුම්රා වැනි දරුවන් මෙරට ද කොතෙකුත් ඇත. ඔවුන්ටත් මෙය කියවා තමන්ගේ ජීවිතයට ගතහැකි පාඩමක් ඇත.

ජස්ප්‍රීත් බුම්රා නම් දඟයා, සිය මව සමඟ

ගෙදර ඇවිල්ලත් මම කළේ බිත්තියක් අල්ලගෙන පන්දු යවන එක තමයි. හැමවෙලේම සද්ද එනකොට අම්මා මට බනින නිසා මම බිත්තියේ ස්කර්ටින් එකට පන්දු යැව්වා. එතකොට සද්ද එන්නේ නැති නිසා. මට නැති දේවල් ගැන මම හිතුවේ නෑ. බෝල් කරන්න පුළුවන් නිසා සතුටු වුනා.”

“5, 6 ශ්‍රේණි වෙනකොටම මට හිතුණා ක්‍රිකට් තමයි මගේ ක්‍රීඩාව කියලා. 2013 IPL එකේ ක්‍රීඩා කරද්දී මම පළමු පෙළ තරගයක්වත් ක්‍රීඩා කරලා තිබුණේ නෑ. එතකොට මගේ කණ්ඩායමේ සචින් සර් (සචින් ටෙන්ඩුල්කාර්), රිකී පොන්ටින්, ජොන්ටි රෝඩ්ස් වගේ අය හිටියා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඇවිත් මම ඔවුන් දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.”

ක්‍රිකට් ලොවේ අති දැවැන්තයින් සමඟින් එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමේ වරම ලද දින සිට තමන්ව දියුණු කර ගැනීමේ නොනවතින උත්සාහයක යෙදුනු බුම්රා, මේ වන විට ලොව සිටින අංක එකේ සීමිත පන්දුවාර ක්‍රිකට් පන්දු යවන්නා යන නම තමන් සතුකරගෙන තිබේ. ඒ, තමන්ට ගුරුහරුකම් ලබා දුන් ලසිත් මාලිංගව ද පසුකරමිනි.

“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක පුවත් ය. මේ අසතුටෙහි ප්‍රධාන හේතුවක් ලෙස හැඳින්විය හැකි “මුදල්” නම් හේතුව ගැන…

ටෙස්ට් තරග පිටියේ එතරම් දුර ගොස් නැතත් එහි දී ද ඔහු කඩුලු ලබා ගනිමින් දස්කම් දක්වමින් සිටියි. ඔහු, ඔහුගේ යොවුන් සමයේ දැක්වූ දස්කම්වලට වඩා දස්කම් දක්වන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් අප මෙරට තුළ දැක ඇත. එහෙත් ඔවුන් ජාත්‍යන්තරය ජය නොගැනීමේ හේතුව නම් උසස් තලයට පැමිණි පසු සියල්ල අවසන් යැයි සිතීමයි. ඔවුන් වෙත කෙරෙන මාගේ ආදරණීය ආරාධනය නම් මෙම ලිපිය හොඳින් කියවා, බුම්රාට තිබුණේ මොනවද, අද ඔහු කොහිද” සහ “මට තිබුණේ මොනවද, මම අද කොහිද” යන්න ගැන සිතා බැලීමටයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<