යාපනය හින්දූන් තෑගි මේසය ම බෙදා ගනී

13th Battle of The Hindus

56
13th Battle of The Hindus

යාපනය හින්දු විද්‍යාලය සහ බම්බලපිටිය හින්දු විද්‍යාලය අතර 13 වැනි වරටත් පැවැති “හින්දු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩකයන් සතු වූවා.

යාපනය හින්දු විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 100ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත් යාපනය හින්දු ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ වැඩිම වාර ප්‍රමාණයක් හින්දු කුසලානය හිමිකර ගත් කණ්ඩායම බවට ද අද (16) පත් වුනා. ඔවුන් මෙවර හින්දු කුසලානය දිනා ගන්නේ සිවු වැනි වරට වන අතර පෙර වසරේ දී ද හින්දු කුසලානය හිමි කර ගත්තේ යාපනය ක්‍රීඩකයන් විම විශේෂත්වයක්.

පරාජිත බම්බලපිටිය හින්දු ක්‍රීඩකයෝ ද මෙම කුසලානය අවස්ථා 3ක දී දිනා ඇති අතර අනෙක් අවස්ථාවන් සටහන් වෙන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.

Battle of The Hindus, යාපනය, 15-16, මාර්තු 2024

ක්‍රීඩාංගණය – හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණය, යාපනය

කාසියේ වාසිය – බම්බලපිටිය හින්දු විද්‍යාලය

බම්බලපිටිය හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: B. Tharujan (නායක), P. Shri Nithuaan, T. Yaadhaw (කඩුලු රකින්නා), S. Midhusingan, T. Santhosh, R. Dilojan, M. Abishek, T. Yadushan, S. Sabeshan, K. Yasurajan, R. Dheskar

යාපනය හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: M. Kajan (නායක), K. Pareshshith, J. Bahavanan, L. Priyandan, T. Preemikan  (කඩුලු රකින්නා), A. Vithusan, K. Tharanisan, S. Subarnan, Y. Sarujan, S. Barathuvasan, S. Hariharan.

කාසියේ වාසිය දිනා ගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බම්බලපිටියට හින්දු විද්‍යාලය ලකුණු 80කට සීමා කිරීමට යාපනය හින්දු විද්‍යාලය සමත් වුනා.

අගනුවර හින්දු ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ M. Abishek. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු P. Shri Nithuaan (12)ක්, R. Dilojan (11)ක් සහ නායක B. Tharujan (10)ක් ලබා ගනිමින් යම්තම් තම කණ්ඩායම සැනසුවා.

අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට සත්කාරක ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදුන් අතර එහි දී වඩාත් ප්‍රබල අභියෝගයක් එල්ල කළේ S. Subarnan. ඔහු ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා. ඔහුත් සමඟ හරි හරියට පන්දු යැවූ S. Hariharan ද කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතර ව Y. Sarujan කඩුලු 2ක් ද සහ S. Barathuvasan සහ K. Tharanisan කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ පළමු දිනයේ දී ම අගනුවර ක්‍රීඩකයන් ලබා ගත් ලකුණු ප්‍රමාණය ඉක්මවා යෑමට සත්කාරක යාපනය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. ඔවුන් එම ඉලක්කය ඉක්මවා යද්දී අහිමි කර ගෙන සිටියේ කඩුල්ලක් පමණයි.

කෙසේ වෙතත් මෙම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු K. Pareshshith අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 60ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඔහු ආරම්භක කඩුල්ල වෙනුවෙන් J. Bahavanan සමඟ එක් වෙමින් ලකුණු 69ක සබඳතාවක් එක් කළා. J. Bahavanan පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

තරගයේ පළමු දිනය අවසන් වෙන්නේ බම්බලපිටිය හින්දු විද්‍යාලය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 80ට පිළිතුරු ලෙසින් යාපනය හින්දු විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමිනුයි. ඒ වෙද්දී නොදැවී ක්‍රීඩා කළ T. Preemikan ලකුණු 38ක් ලබා සිටියා.

තරගයේ අවසන් දිනය වන අද ඔහු තම ඉනිම අවසන් කරන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටි අතර පසු පෙළින් පිටියට පිවිසි S. Subarnan පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

යාපනය හින්දු විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 240ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවූ අතර ඒ වෙද්දී Y. Sarujan පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී P. Shri Nithuaan, M. Abishek සහ T. Yaadhaw කඩුලු 2ක් බැගින් දවා ගත් අතර T. Yadushan සහ R. Dheskar කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 160ක් පිටු පස සිටිමින් පිටියට පිවිසි බම්බලපිටිය හින්දු විද්‍යාලය එවර ද සහමුලින් ම අමාරුවේ දැමීමට S. Subarnan සහ K. Tharanisan සමත් වුනා. ඔවුන් දෙදෙනා ම කඩුලු 4 බැගින් දවා ගත් අතර S. Hariharan ද කඩුලු 2ක් දවා ගනිමින් ඊට සහයෝගය දැක් වූවා.

බම්බලපිටිය හින්දු විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ R. Dilojan. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණිමට සත්කාරක ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ හේතුවෙන් ම ඔවුන්ගේ ඉනිම ලකුණු 60කට සීමා වූවා.

කොළඹ හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

තරගයේ කෙටි ලකුණු පුවරුව

බම්බලපිටිය හින්දු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 80 (55.1) M. Abishek 14, Y. Sarujan 2/03, S. Subarnan 3/20, S. Hariharan 3/36

යාපනය හින්දු විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 240 (56.0) K. Pareshshith 46, J. Bahavanan 26, T. Preemikan 43, S. Subarnan 31, Y. Sarujan නොදැවී 28, P. Shri Nithuaan 2/71, M. Abishek 2/19, T. Yaadhaw 2/29

බම්බලපිටිය හින්දු විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 60 (32.0) R. Dilojan 28, S. Subarnan 4/05,  S. Hariharan 2/16, K. Tharanisan 4/18

යාපනය හින්දු විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 100ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – T. Preemikan(යාපනය හින්දු විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – K. Tharanisan(යාපනය හින්දු විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – K. Pareshshith(යාපනය හින්දු විද්‍යාලය)
  • තරගයේ වීරයා – S. Subarnan(යාපනය හින්දු විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<