T20 ශ්‍රවණාබාධිත ලෝක අනුශූරතාව ශ්‍රී ලංකාවට

Deaf ICC T20 World Cup 2024

74
Deaf ICC T20 World Cup 2024

සිව් වැනි වරටත් පැවැති ශ්‍රවණාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගියදා Sharjah ක්‍රීඩාංගණයේ දී නිමා වෙන්නේ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කණ්ඩායමට අනුශූරතාව හිමි කර දෙමිනුයි. මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ පාකිස්තානයයි.  

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සහභාගී වුනා.  

මෙවර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගිමඳු මැල්කම්ට හිමි වූ අතර ඔහු 2018 වසරේ දී ශ්‍රවණාබාධිත ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ද නායකයා බවට පත් ව සිටියා.  

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ගමන් මඟ 
1  ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්.  
2  පාකිස්තානය   පාකිස්තානයට කඩුලු 9ක ජයක්.  
3  ඉන්දියාව   ඉන්දියාවට කඩුල්ලක ජයක්.  
4  බංග්ලාදේශය  වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.  
5  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාවට ලකුණු 82ක ජයක්.  
අවසන් පූර්ව තරගය 
6  ඉන්දියාව  ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ජය. 
අවසන් මහා තරගය  
7  පාකිස්තානය  පාකිස්තානය ලකුණු 88ක ජයක් 

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වටය අවසන් කරන්නේ සිව් වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙමිනුයි. ඒ අනුව පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එක් වෙනවා.  

ඒ අනුව පාකිස්තානය දකුණු අප්‍රිකාව සමඟත් ශ්‍රී ලංකාව ඉන්දියා සමඟත් එම වටයේ දී එකිනෙකා හමුවෙනවා.  

ශ්‍රී ලංකා ඉන්දීය තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවට පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් Sai Akash පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව නායක Virender Singh පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා. 

ඉනිමේ එක් කඩුල්ලක් පමණක් දිනුක සචින් සතු වූ අතර අනෙක් කඩුලු 3 දුවද්දී දැවී ගියා.  

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රබල පීඩනය හමුවේ ලබා ගත හැකි වූයේ ද ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණ 154 ම පමණයි. කඩුලු 7ක් දැවී ගිය එම ඉනිමේ නායක ගිමඳු මැල්කම් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු ශානක වල්ගමගේ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා. 

ඊට අමතර ව රාජිත අසංක පන්දු 21ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. කඩුලු ලබා ගැනීමේ දී  Vivek Sharma ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා.  

දෙපිලේ ම ලකුණු සම වීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයන් සොයා ගැනීම සඳහා සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩයමයි. ගිමඳු මැල්කම් සහ ධර්මසීලන් බාලක්‍රිෂ්නන් එක් ව මුහුණ දුන් එම පන්දුවාරයේ දී ලකුණු 14ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා. එම ලකුණු 14 ම ගිමඳු මැල්කම් ගේ පිත්තෙන් වාර්තා වී ම කැපී පෙණුන අතර ඊට හතරේ පහරක් ද ඇතුලත් වුනා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීයාවට එරෙහි වූ පන්දු වාරය යැවීම නායක, ගිමඳු මැල්කම් ම බාර ගත්තා. ඒ අනුව ඔහු එම පන්දුවාරය ලකුණු 5කට සීමා කරනවා.  

 ඒ අනුව ශ්‍රී ලංකා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගත් පාකිස්තානය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

අවසන් මහා තරගය, Sharjah, 12, මාර්තු 2024, DICC T20 World Cup  

  • ක්‍රීඩාංගණය – Vision Cricket Center Ground 4, Sharjah 
  • කාසියේ වාසිය – පාකිස්තානය 

ශ්‍රී ලංකා කණ්ඩායම: ගිමඳු මැල්කම් (නායක), ශානක වල්ගමගේ (කඩුලු රකින්නා), දිනුක සචින්, උදය ලක්මාල්, ධර්මසීලන් බාලක්‍රිෂ්ණන්, රජිත අසංක, අලන්රෝස් කාලිප්, හසිත ප්‍රසන්න, සචිත් මකරන්ද පෙරේරා, තාරක සම්පත්, සුමුදු ලංකා. 

අතිරේක ක්‍රීඩකයන්: අසංක මංජුල, ලක්ෂාන් ප්‍රනාන්දු, නඳුන් සමීර, සඳරුවන් මධුරංග. 

පාකිස්තාන කණ්ඩායම: Zaka Ahmed (නායක), Basit Abbasi, Bilal Yousaf, Faizan Khan, Adnan Ghani, Rashid Ali, Mudassar Nazir (කඩුලු රකින්නා), Manzoor Khan, Jubbar Ali, Ehsan Ullah, Adeel Qadir, Bilal Khan. 

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Basit Abbasi පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා. ඉන් නොනැවතුණ ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් නායක Zaka Ahmed සමඟ එක් වෙමින් ලකුණු 31ක සබඳතාවක් ද ගොඩ නැගුවා.  

Zaka Ahmed ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක් වූ අතර ඊට පන්දු 20ක වැය ව තිබූ අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වුනා. අනතුරු ව 2 වැනි කඩුල්ල සඳහා ද ලකුණු 34ක සබඳතාවක් එක් කිරීමට Basit Abbasi සහ Bilal Yousaf (15) සමත් වුනා.  

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගෙන්නේ ඊට අනතුරුවයි. එහි දී ද මූලිකත්වය ගැනීමට Basit Abbasi පියවර ගන්නා ලද අතර ඊට එක් කර ගන්නේ Faizan Khan. ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් එක් කරනවා.  

එහි දී Faizan Khan පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී රාජිත අසංක, සචිත මකරන්ද පෙරේරා, ධර්මසීලන් බාලක්‍රිෂ්ණන් සහ ගිමඳු මැල්කම් කඩුල්ල බැගින් බිඳ හෙලනවා.   

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒ හැටි ගමනක් යෑමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිම 17 වැනි පන්දුවාරයේ දී අවසන් වෙන්නේ ලකුණු පුවරුව 63ක් වෙද්දීයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ උදය ලක්මාල්. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක ගිමඳු මැල්කම් පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගන්නවා.  

අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට යෑමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේ දී Jubbar Ali පන්දුවාර 2ක් යවමින් කිසිඳු ලකුණක් ලබා නොදෙමින් කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

ඊට අමතර ව Manzoor Khan ලකුණු 13කට කඩුලු 3ක් ද, Bilal Khan ලකුණු 16කට කඩුලු 2ක් ද සහ Faizan Khan සහ Adnan Ghani කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

පාකිස්තානය – කඩුලු 6ක් දැවී 151 (20.0) Zaka Ahmed 24, Basit Abbasi 62, Faizan Khan 28 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 63 (16.5) උදය ලක්මාල් 16, ගිමඳු මැල්කම් 13, Jubbar Ali 0/3, Manzoor Khan 13/3, Bilal Khan 2/16 

පාකිස්තානයට ලකුණු 88ක ජයක්. https://www.thepapare.com/sinhala/cricket

ජයග්‍රාහී පාකිස්තාන ශ්‍රවණාබාධිත කණ්ඩායම 

තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් ශ්‍රී ලංකා නායක ගිමඳු මැල්කම් එහි පළමු අසුන හිමි කර ගන්නවා. ඔහු තරග 6ක දී ලබා ගන්නා ලද ලකුණු ප්‍රමාණය 189ක්. එම දක්ෂතාව ලෝක කුසලාන තරගාවලියේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී තෙවැනියට පත් දක්ෂතාව ද වූවා.  

ඊට අමතර ව මෙරට ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් විමට දිනුක සචින් සමත් වූවා. ඔහු තරග 6ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 116ක්. එම දක්ෂතාව ලෝක කුසලාන ලකුණු ලැයිස්තුවේ 7 වැනි තැනට පත් දක්ෂතාවයි.  

එමෙන් ම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත් වීමට ධර්මසීලන් බාලක්‍රිෂ්ණන් සමත් වෙනවා. ඔහු එම ස්ථානය ආක්‍රමණය කරන්නේ තරග 6ක දී ලකුණු 100ක් ලබා ගනිමිනුයි. එය මෙරට ලැයිස්තුවේ, ලැයිස්තු ගත වෙන්නේ තෙවැනියට පෑ දක්ෂතාව ලෙසයි.   

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලුලාභියා ද වූයේ නායක ගිමඳු මැල්කම්. ඔහු මෙම අසුනට පත් වූයේ කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. ඔහුගේ මෙම දක්ෂතාව ලෝක කුසලාන ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වීමට ද හේතු වූවා.  

ඊට අමතර ව මෙරට පන්දු යවන්නන් අතුරින් මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය දිනා ගන්නේ සුමුදු ලංකා. ඔහු කඩුලු 6ක් දවා ගනිමින් මෙම ස්ථානයට පත් වෙන අතර ඔහුගේ එම දක්ෂතාව ලෝක කුසලාන තරගාවලියේ ලැයිස්තු ගත වෙන්නේ 8 වැනි ස්ථානයටයි.  

අනතුරුව දිනුක සචින් කඩුලු 4ක් ලබා ගනිමින් මෙරට ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වෙනවා.  

සිව් වැනි විස්සයි විස්ස ලෝක ශ්‍රවණාබාධිත ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<