නිලානි, ගයන්තිකා සහ සචිනි ජාතික වාර්තා බිඳ දමයි

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2022

543

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග ඉසව් අද (09) සාර්ථකව නිමාවට පත්වුණා.

දිනය ආරම්භ කරමින් පැවති පළමු ඉසව්ව වූ මීටර් 3000 බාධක දිවීමේ දී තමන්ගේම ජාතික වාර්තාව අලුත් කිරීමට නිලානි රත්නායක සමත් වුනේ මිනිත්තු 9:40.25ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි. එම ඉසව්වේ දෙවැනි ස්ථානය එන්. නිදර්ශනී විසින් දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය දිනා උදයකුමාරි විසිනුයි.

මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ පිරිමි අංශයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට යූ. බී. හේරත්ට හැකි වුනේ මිනිත්තු 8:57.12ක කාලයක් වාර්තා කරමිනුයි.

දිනයේ උණුසුම් ඉසව්වක් වූ කාන්තා මීටර් 200 ඉසව්වේ කිරුළ මේධානි ජයමාන්න (තත්පර 24.58) විසින් ජයග්‍රහණය කරද්දී, මීටර් 200 පිරිමි කිරුළ සුපුරුදු පරිදි මොහොමඩ් සෆාන් විසින් දිනා ගත්තේ තත්පර 21.44 කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි.

2021 වසරේ දී අහිමි වුන මීටර් 800 ජාතික වාර්තාව නැවතත් තමන් සතු කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ගයන්තිකා අබේරත්න අද සමත් වුනේ මිනිත්තු 2:01.44ක දක්ෂතාවයක් වාර්තා කරමින් වීම විශේෂත්වයක්.

එහි දෙවැනි ස්ථානය නිමාලි ලියනආරච්චි විසින් දිනා ගනිද්දී, යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න (මිනිත්තු 2:04.40) එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ එම ඉසව්වේ කනිෂ්ඨ වාර්තාව ද බිඳ දමමිනුයි.

පිරිමි මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කරමින් එහි ජාතික කිරුළ ජයග්‍රහණය කිරීමට රුසිරු චතුරංගට (මිනිත්තු 1:50.84) හැකි වුනා. එහි දෙවැනි ස්ථානය ටී. බුලුගහපිටිය (මිනිත්තු 1:51.13) විසින් දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය දිනා ගත්තේ කේ. කුෂාන්තයි (මිනිත්තු 1:51.20).

කාන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ පළමු ස්ථානය කෞෂල්‍යා මධුෂානි තත්පර 58.76 දක්ෂාතවයක් සමඟින් අවසන් කරද්දී පිරිමි ඉසව්වේ ජයග්‍රහණය දිනා ගත්තේ ධනුක දර්ශන (තත් 52.17) විසිනුයි.

තරගාවලියේ ඊයේ (08) පැවැත්වීමට තිබී වර්ෂාව නිසා අදට කල්දැමුණු කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ලක්ෂිකා සුගන්ධි (තත්පර 13.70) සමත් වෙද්දී, පිරිමි ඉසව්වේ ජයග්‍රහණය රොෂාන් ධම්මික (තත්පර 14.05) සතු වුනා.

මීටර් 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය මිනිත්තු 1:00.23ක කාලයකින් ඉසව්ව අවසන් කළ අමේෂා හෙට්ටිආරච්චි හට හිමි වූ අතර එය නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් වීම ද විශේෂත්වයක්.

කාන්තා දුර පැනීම ඉසව්වේ දී මීටර් 6.52ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සාරංගි ද සිල්වා සමත් වුනා.

එමෙන්ම ඊයේ (08) පැවැත්වීමට තිබී වර්ෂාව නිසාවෙන් කල්දැමු කාන්තා රිටි පැනීම ඉසව්වේ නව ජාතික වාර්තාව අලුත් කිරීමට සචිනි පෙරේරාට හැකි වුනා. සචිනි මීටර් 3.71ක දස්කමක් දක්වමින් එලෙස අලුත් කළේ ඇය විසින්ම මීටර් 3.70ක දස්කමක් දක්වමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

>> තරගාවලියේ මෙතෙක් පැවති තරග සියල්ලේ ප්‍රතිඵල << 

මීට අමතරව අද (09) දිනයේ කාන්තා සහ පිරිමි මීටර් 100 සහ 400 මූලික වටයේ තරග ද පැවැත්වුනා. 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි සහ අවසන් දිනය හෙටයි (10).  තරගාවලියේ උණුසුම ඔබ වෙත සජීව ලෙස රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<