ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරුවෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

542
Steve Smith injury
@Getty Images

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ඇතිවූ හිසේ කම්පනයක් (concussion) නිසාවෙන් ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steve Smith හට තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

මෙම සිදුවීම නිසාවෙන් ඔහුට සම්පූර්ණ සුවය ලැබීමට දින 6ක හෝ 7ක කාලයක් විවේක ගැනීමට සිදු වන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

ඊයේ (13) පැවති තරගයේ උණුසුම් අවසන් පන්දුවාරයේ දී මහීෂ් තීක්ෂණ විසින් එල්ල කළ හයේ පහරක් නතර කිරීමට දැරූ උත්සහයේ දී Steve Smithගේ හිස ක්‍රීඩාංගණයේ වදිනු දක්නට ලැබුණු අතර පසුව ඔහුට ක්‍රීඩාංගණයෙන් ඉවතට ගෙන ගියා.

ඔහු එම හයේ පහර නැවැත්වීමට ගත් උත්සහයේ දී පාදය හතරේ සීමාවේ ස්පර්ශ වීම නිසාවෙන් ලකුණු හයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර දුෂ්මන්ත චමීර විසින් අවසන් පන්දුවේ එල්ල කළ හතරේ පහරත් සමඟ තරගය සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

නමුත් සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ මීළඟ තරගය හෙට (15) Canberra හීදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<