ශතකය සමරන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ සූදානම

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

899

මෙරට මලල ක්‍රීඩා පිටියේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන “ජාතික මලල ක්‍රීඩා ශූරතාවය” අප්‍රේල් 08, 09 සහ 10 යන තෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ප්‍රමුඛ පෙළේ තරගාවලි රැසක් සඳහා සුදුස්සන් තෝරාගැනීම සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය ලෙස ද මෙය සැලකෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හෙටට (07) වසර 100ක් සපිරීමෙන් අනතුරුව පැවැත්වෙන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මෙය වන නිසා මෙවර තරගාවලිය තවත් සුවිශේෂී වී තිබෙනවා.

මින් පෙර ජාතික තලයේ ක්‍රීඩකයින්ට පමණක් සීමා වූ මෙම තරගාවලිය සඳහා මෙවර දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්‍රීඩකයන්ට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ආරාධනා කර තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය මීට පෙර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, සුගතදාස ක්‍රීඩාංගණයේ සිදු කරන නවීකරණ කටයුතු නිසාවෙන් තරගාවලිය දියගම ක්‍රීඩාංගණයට ගෙන ගිය බව මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුණා.

මෙම වසරේ පැවැත්වෙන තෙවැනි ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර මීට පෙර පළමු තේරීම් තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී සහ දෙවැනි තේරීම් තරගාවලිය දියගම ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමයට හැකි වුනා.

ආබාධ සහ විවිධ හේතූන් නිසාවෙන් ජාතික තලයේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම එම තරගාවලි සඳහා සහභාගී නොවූ නමුත් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නැවතත් ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සඳහා මින් පෙර තරගාවලි සඳහා සහභාගි නොවූ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරන පරිදි විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුවහොත් ඉතා උණුසුම් තරගාවලියක් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට හැකි වනු ඇත.

තරගාවලියේ ආරම්භක දිනය වන සිකුරාදා (09) උදෑසන කාන්තා මීටර් 10,000 සහ පිරිමි මීටර් 5,000 අවසන් තරගවලින් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි.

එම ඉසව්වලින් පසු වඩාත් අවධානය යොමු වන ඉසව්වක් වන කාන්තා මීටර් 1500 අවසන් තරගය පැවැත්වෙන අතර ඒ සඳහා ආසියානු පදක්කමක් ලබා ගත හැකි දක්ෂතා සීමාවේ සිටින ප්‍රවීණ ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සහභාගි වීමට බොහෝ ඉඩක් ඇත.

බොහෝ ඉසව්වන්ගේ මූලික සහ දෙවැනි වටයේ තරගවලට වෙන්වූ එම දිනයේ සවස් වරුවේ කාන්තා මීටර් 100 සහ පිරිමි මීටර් 110 කඩුලු පැනීම අවසන් තරග පැවැත්වෙන අතර එම ඉසව්වන්ට දකුණු ආසියානු පදක්කම්ලාභී රොෂාන් ධම්මික සහ ලක්ෂිකා සුගන්ධි සහභාගී වීමට නියමිතයි.

කාන්තා රිටි පැනීම අවසන් තරගය ද පළමු දින පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම ඉසව්වෙහි ජාතික වාර්තාව පසුගිය තරගාවලි රැසකම බිඳ හෙළු ජාතික ශූරී සචිනි පෙරේරා නිසා මෙම තරගයට ද ප්‍රේක්ෂකයන්ගේ අවධානය හිමිව තිබේ.

තරගාවලියේ දෙවැනි දිනය වන සෙනසුරාදා (09) කාන්තා සහ පිරිමි මීටර් 3000 බාධක දිවීමේ අවසන් තරගවලින් දිනය ආරම්භ වීමට නියමිතව ඇති අතර කාන්තා ඉසව්ව සඳහා ප්‍රවීණ ක්‍රීඩිකා නිලානි රත්නායක සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර ආසියානු පදක්කම් සිහිනයේ ඉහළින්ම සිටින ක්‍රීඩිකාවක් වන සාරංගි ද සිල්වා එදින තරග බිමට පිවිසෙනු ඇති අතර ඇයගේ ඉසව්ව වන කාන්තා දුර පැනීම අවසන් තරගය ද දෙවැනි දින උදෑසන පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ වේගවත් ඉසව්වක් වන කාන්තා සහ පිරිමි මීටර් 200 අවසන් තරග ද සෙනසුරාදා (09) උදෑසන පැවැත්වීමට නියමිතව ඇත.

එහි කාන්තා ඉසව්ව සඳහා අමාෂා ද සිල්වා, මේධානි ජයමාන්න, නදීෂා රාමනායක සහ රුමේෂිකා රත්නායක වැනි ක්‍රීඩිකාවන් සහභාගී වන නිසාවෙන් උණුසුම් තරගයක් අපේක්ෂා කළ හැකි අතර පිරිමි ඉසව්ව සඳහා ද අරුණ දර්ශන, මොහොමඩ් සෆාන් සහ කාලිංග කුමාරගේ යන ප්‍රබල ක්‍රීඩකයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තරගාවලියේ තවත් ප්‍රධාන ඉසව් වන කාන්තා සහ පිරිමි මීටර් 800 අවසන් තරග ද එදින උදෑසන පැවැත්වෙන නිසාවෙන් සෙනසුරාදා (09) තරගාවලියේ උණුසුම් දිනයක් ලෙස හැඳින්විය හැක.

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වන ඉරිදා (10) සවස් වරුවේ තරගාවලියේ වේගවත්ම ඉසව් වන කාන්තා සහ පිරිමි අවසන් තරග පැවැත්වීමට නියමිත අතර දෙවැනි තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට රුමේෂිකා රත්නායකට හැකි වීමත් සමඟ කාන්තා ඉසව්ව සඳහා බොහෝ දෙනාගේ අවධානය හිමිව තිබෙනවා.

ඊට අමතරව කාන්තා සහ පිරිමි මීටර් 400 අවසන් තරග සහ පිරිමි මීටර් 1500 අවසන් තරග එදින සවස් වරුවේ පැවැත්වීමට නියමිත නිසාවෙන් උණුසුම් තරග කිහිපයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම තරගාවලියේ තරග ප්‍රතිඵල ඇතුළු සජීව විකාශය ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<