හෙල්ල විසිකිරීමෙන් දකුණු ආසියාව ජය ගත් ඇහැලියගොඩ නදීෂා

571

මෙරට මලල ක්‍රීඩාවට අත්පොත් තබන ඕනෑම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවගේ මූලික සිහිනය වෙන්නේ තමන්ගේ රටේ ශූරයා හෝ ශූරිය එහෙමත් නැත්නම් සිය ඉසව්වෙන් ජාතික කිරුළ දිනා ගැනීමයි.

එම සිහිනය ජය ගත්තත් ජාතික තලයේ ආධිපත්‍ය වසර ගණනාවක් එලෙසම රඳවා ගනිමින් දකුණු ආසියානු සහ ආසියානු කලාපයේ පදක්කමක් තමන් සතුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට පමණයි.

එලෙස ජාතික තලයේ ආධිපත්‍ය රඳවා ගනිමින් ආසියානු රිදී පදක්කමක් දිනා ගැනීමෙන් අනතුරුව දකුණු ආසියානු ශූරියක ලෙසින් අභිෂේක ලබා ගන්නට සමත් වුන මේ විශේෂ ක්‍රීඩිකාව නමින් නදීෂා දිල්හානි ලේකම්ගේයි.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කළ රුවන්පුරේ ප්‍රධාන නගරයක් වන ඇහැලියගොඩ නගරයේ නදීෂා උපත ලබන්නේ 1987 වසරේ ඔක්තෝබර් 14 වැනිදායි.

මව, පියා සහ සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ නදීෂා කුඩා කල සිටම ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූවා. ඇරැපොළ ශ්‍රී මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන නදීෂා මලල ක්‍රීඩාවට අත්පොත් තබන්නේ වයස අවුරුදු 11ක් පමණ වන විටයි.

පළමුව මීටර් 75 සහ 100 වැනි කෙටිදුර ඉසව් තෝරාගැනීමට නදීෂා කටයුතු කළත්, ඇය වයස අවුරුදු 15ක් පමණ වන විට පාසලේ ක්‍රීඩා ගුරුවරයා ලෙස අරුණ ශාන්ත මහතා පැමිණියේ ඇයගේ වාසනාවටයි.

“හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමු වුනේ අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන විටයි. අපේ පාසලට ක්‍රීඩා ගුරුවරයා විදියට පැමිණි අරුණ ශාන්ත ධර්මසේන සර් තමයි හෙල්ල විසිකිරීමේ ඉසව්වට මාව කතා කරලා ගත්තේ”.

අරුණ ශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ ඉතා ඉක්මනින් හෙල්ල විසිකිරීමේ දස්කම් අතරට පැමිණි නදීෂා වයස අවුරුදු 15න් පහළ සබරගමු පළාත් හෙල්ල විසිකිරීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වූ අතර ඊට අමතරව එම වයස් කාණ්ඩයේම සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද ඇය සමත් වුනා.

එම ජයග්‍රහණයෙන් ලද පන්නරයෙන් අවුරුදු 15ක ක්‍රීඩිකාවක් ලෙස ජාතික මහා ක්‍රීඩා උළෙලක් නියෝජනය කළ නදීෂා එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වන්නේ පැහැබර අනාගතයකට පෙරනිමිති පහළ කරමිනුයි.

පාසල් ක්‍රීඩිකාවක් ලෙස දිගින් දිගටම දස්කම් අතර සිටීමට සමත් වූ ඇය වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ කාන්තා හෙල්ල විසිකිරීමේ වාර්තා ද සියතට ගන්නට සමත් වෙනවා.

ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් පෑවත්, මෙරට බිහිවන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් දරිද්‍රතාවෙන් පීඩා විඳි නදීෂා හට ද ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට නොහැකි වූයේ පැමිණි දැඩි ආර්ථික අපහසුතා නිසාවෙනුයි.

කෙසේ නමුත් ක්‍රීඩාවට දැඩි ලෙස ආදරය කළ ඇය ක්‍රීඩාව ඉදිරියට කරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට 2006 වසරේ තීරණය කළේ ඒ නිසයි.

“යුද හමුදාවට ආවේ ඇත්තටම මට ක්‍රීඩාව ඉදිරියට කරන්න ඕන නිසයි. අම්මලට ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. එහෙම නැති නිසා තමයි මම යුද හමුදාවට ආවේ, ක්‍රීඩා කරන්න ආස හින්දා”, යුද හමුදාව සමඟ එක්වීම පිළිබඳව නදීෂා සිය අදහස් දැක්වුවේ මෙහෙමයි.

යුද හමුදාවට එක්වීමෙන් අනතුරුව ද අරුණ ශාන්ත මහතා යටතේ නදීෂා පුහුණුවීම් සිදු කළත් 2012 වසරේ දී ඇය තමන්ගේ නව පුහුණුකරුවා ලෙස ඒ. ජේ. රොද්‍රිගෝ මහතා තෝරාගත්තා.

රොද්‍රිගෝ මහතාගේ මග පෙන්වීම යටතේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් දස්කම් අතර සිටි නදීෂා අවස්ථා ගණනාවක දී ම එහි ජාතික ශූරිය වීමට සමත් වූ අතර ඇය හා නදීකා ලක්මාලි අතරේ එම කිරුළ දෝලනය වුනා.

නදීෂා ජාතික තරගාවලියක් අතරතුර

දිගින් දිගටම ජාතික තලයේ දැක්වූ දස්කම් නිසාවෙන් 2013 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලැබූ නදීෂා එහි දී මීටර් 50.98ක දස්කමක් දක්වමින් 8 වැනි තැනට පත්වුනා.

එහි දී පදක්කමක් කරා යාමට නදීෂා හට නොහැකි වූවත් උපරිම කැපවීමෙන් පුහුණුවීම් සිදු කරමින් සිය දස්කම් ඉහළ නංවා ගන්නට සමත් වුනා.

ජාතික මලල ක්‍රීඩා පිටියේ දස්කම් දක්වන අතරවාරයේ විදෙස් තරගාවලි කිහිපයම ජයග්‍රහණ ලබා ගන්නා නදීෂාගේ මීළඟ අභියෝගය ලෙස 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඇය සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දියාවේ Guwahati හිදී පැවති එම තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර් 52.17ක දස්කමක් දැක්වීමට ඇය සමත්වූවත්, ඇයට ඉසව්වේ ලෝකඩ පදක්කම අහිමි වන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නදීකා ලක්මාලි මීටර් 54.82ක දස්කමක් දැක්වූ නිසයි.

එම පරාජය ධෛර්යයක් කර ගත් නදීෂා 2017 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට පැමිණෙන්නේ එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා මීටර් 56.30ක දස්කමක් දක්වා හොඳ මානසිකත්වයෙනුයි.

ජයග්‍රහණයක් ලබා ගැනීමේ අධිෂ්ඨානයෙන් ඉන්දියාවට පැමිණි නදීෂා එහි කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ දී මීටර් 58.11ක දස්කමක් දැක්වීමට සමත් වුනේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද වාර්තා කරමිනුයි.

නදීෂා ලේකම්ගේ 2017 ආසියානු මලල ක්රීඩා ශූරතාවයේ දී

එම දස්කම සමඟින් ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් දකුණු ආසියානු පදක්කමකට පෙර ආසියානු පදක්කමක් දිනා ගනිමින් නදීෂා සිය ක්‍රීඩා දිවියේ විශාල සංධිස්ථානයක් සනිටුහන් කරන්නට සමත් වුනා.

“ආසියානු ශූරතා පදක්කම මම ගත්තේ 2017 වසරේ, ඒක ගද්දී රොද්‍රිගෝ සර් මගේ ළඟින් හිටියා. ඒක ඇත්තටම මට ලොකු හයියක් වුනා. අපි තරගෙට ගිහින් පදක්කමක් ගත්තොත් මේ ප්‍රශ්න ඔක්කෝම විසඳ ගන්න පුළුවන්, ඒ නිසා අනිවාර්යයෙන් පදක්කමක් ගමු කියලයි සර් කිව්වේ”, ආසියානු පදක්කම් ජයග්‍රහණය ගැන ඇය අදහස් දැක්වුවේ එලෙසයි.

ඇයගේ ක්‍රීඩා දිවියේ ඉහළම ජයග්‍රහණයක් ලබා ගැනීමට නදීෂා 2017 වසරේ දී සමත් වූවත්, ඇයගේ ජයග්‍රහණයට මගපෙන්වූ රොද්‍රිගෝ මහතා එම වසරේ දී ම අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තා.

ඉන්පසුව තවත් පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේම ඇසුරේ සිය පුහුණුවීම් කටයුතු සිදු කළ නදීෂා සෑමවිටම සිය රිද්මය පවත්වා ගැනීමට සමත් වුනා.

2017 වසරේ ලබා ගත් රිද්මයෙන්ම 2018ට පිවිසි නදීෂා පෙබරවාරි මාසයේ දී ඉන්දුනීසියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලට පෙර තරගාවලියක දී මීටර් 55.13ක දස්කමක් දක්වමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා.

එම දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් නදීෂා ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් සමඟ තරග වැදෙමින් පස්වැනි තැන දිනා ගන්නේ මීටර් 56.02ක දස්කමක් දක්වමිනුයි.

නදීෂා ලේකම්ගේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතරතුර

එලෙස කැපී පෙනෙන දස්කම් අතර සිටීමට නදීෂාට හැකිවූවත් 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇයව තේරී පත්වුණේ නැහැ. සිය ස්ථානය අහිමි වීමෙන් පසු තවත් ගැටලුවකට මුහුණ දුන් නදීෂා පිට කොන්දේ ආබාධයකට ලක්වෙන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පෙනෙන මානයේ දීයි.

ආබාධය සමඟින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වූ තේරීම් තරගාවලියට නදීෂා සහභාගී වූවත්, සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අසමත් වීම නිසාවෙන් ඇයට එම තරගයේ හිමිවන්නේ දෙවැනි තැනැයි.

“අපිට කියලා තිබ්බේ පළවෙනියා විතරක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරනවා කියලයි. ඒත් පස්සේ දැන ගන්න ලැබුණා අභියාචනාවක් ඉදිරිපත් කරලා තරගාවලියට සුදුසුකම් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. පස්සේ මම ක්‍රීඩා අමාත්‍යාංශයට අභියාචනාවක් ඉදිරිපත් කළාට පස්සේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණා”.

අභියෝග ජයගනිමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම පිළිබඳව ThePapare.com වෙත නදීෂා අදහස් දැක්වූයේ එලෙසිනුයි.

සියලු අභියෝග ජය ගනිමින් නදීෂා 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ඇය නේපාලයට පිටත්වන්නේ 2016 දී අසමත් වූ දකුණු ආසියානු පදක්කම් සිහිනය කෙසේ හෝ සැබෑ කරගැනීමේ අරමුණෙනුයි.

සිය අධිෂ්ඨානය සාර්ථක කර ගත් නදීෂා මීටර් 55.02ක දස්කමක් දක්වමින් දකුණු ආසියානු ශූරිය ලෙස අභිෂේක ලබා ගැනීමට සමත් වෙද්දී රිදී පදක්කම මීටර් 54.41ක දස්කමක් දැක්වූ නදීකා ලක්මාලිට හිමි වුනා.

“මම අමාරුවෙන් මේ දේට සහභාගී වෙන්නේ ඉතින් මම හිතා ගත්තා අනිවාර්යයෙන්ම පදක්කමක් ගන්නම ඕන, අනිවාර්යයෙන් රන් පදක්කමම ගන්නවා කියලා හිතාගෙනයි මම ලංකාවෙන් නේපාලයට ගියේ.

ආබාධයත් එක්ක සති දෙකක් විතර තමයි මට ට්‍රේනින් කරන්න හම්බුණේ ඒ ඔක්කමත් එක්ක මේ ගත්ත පදක්කම මට 2017 දින්න ආසියානු පදක්කමට වඩා වටිනවා, මොකද මම හරි අමාරුවෙන් මේ තරගයට ගියේ”, සිය දකුණු ආසියානු අත්දැකීම ගැන නදීෂා ප්‍රකාශ කළා.

නදීෂා ලේකම්ගේ 2019 දකුණු ආසියානු ක්රීඩා උළෙලේ ජයග්රහණය ලබා ගැනීමෙන් පසු Image Courtesy : Getty Images

එම ජයග්‍රහණයෙන් පසු ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය නිසාවෙන් වසරකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට නදීෂාට සිදු වූ අතර ඉන්පසුව පැවති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයයේ දී ඇයට දස්කම් අතරට පැමිණීමට හැකි වුනේ නැහැ.

නමුත් ඉතා ඉක්මනින් සිය රිද්මයට නැවතත් පිවිසි නදීෂා 2021 වසරේ පැවති සෑම තරගාවලියකම කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගත් අතර 2021 වසරේ ජුනි මාසයේ දී පැවති යුද හමුදා ශූරතාවයේ දී මීටර් 56.94ක කැපී පෙනෙන දස්කමක් වාර්තා කිරීමට ද ඇයට හැකි වුන‍ා.

2021 දී නැවත ලබා ගත් රිද්මය 2022 වසර දක්වා ගෙන එමින් මෙම වසරේ පැවති තේරීම් තරගාවලි ද්විත්වයේම පළමු තැන දිනා ගැනීමට ඇයට හැකි වුනේ මෙම වසරේ ඉදිරිය ගැන සුබවාදී බලාපොරොත්තු ඉතිරි කරමින්.

නදීෂා මේ වන විට මෙරට හෙල්ල විසිකිරීමේ ඉසව්වේ විශිෂ්ටයන් වූ සුමේධ රණසිංහ, පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත වැනි ක්‍රීඩකයින් මෙරටට දායද කළ ප්‍රදීප් නිශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබනවා.

2022 වසරේ තමන්ගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව ThePapare.com අප වෙත අදහස් දක්වමින් නදීෂා ලේකම්ගේ ප්‍රකාශ කළේ,

“මම මේ දවස්වල පුහුණුවීම් කරන්නේ අප්‍රේල් මාසේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරගෙනයි. ඒකෙදී මගේ උපරිම දක්ෂතාවලට ගිහිල්ලා ඉදිරියේ පැවැත්වෙන ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා”.

නදීෂාගේ ඉදිරි සැලසුම් සියල්ල සාර්ථක වී ලක්මාතාවට තවත් ජාත්‍යන්තර පදක්කම් රැගෙන ඒමට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප පතන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<