100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට විදෙස් ක්‍රීඩකයින්ට ඇරයුම්

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

178

ජාතික මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන විශේෂ උත්සවය සහ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (29) කොළඹ CR&FC පරීශ්‍රයේ දී පැවැත්වුනා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා මලල ක්‍රීඩා සංගම් විධායක නිලධාරි ප්‍රේම පින්නවල, එම සංගමයේ උපසභාපති ජී. එල්. එස්. පෙරේරා, SLT මොබිටෙල් ආයතනයේ කොළඹ කලාපීය ප්‍රධානි ඩෙනම් පෙරේරා සහ ප්‍රචාරණ කළමනාකාර කැලුම් කුලතුංග යන මහත්වරුන් එක්ව සිටියා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පැමිණ සිටි පිරිස අමතමින් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ඕනෑම ආයතනයක, ඕනෑම මිනිස් චරිතයක අවුරුදු 100ක් කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි ආසියාවේ තුන්වෙනි රට තමයි අවුරුදු 100ක් සංගමයක් හැටියට ඉවර කරපු. අපිට ඉදිරියෙන් සිටින්නේ ජපානය සහ කොරියාව පමණයි.

ලෝක මලල ක්‍රීඩා සංගමය ගත්තත්, අපි මුලින් සාමාජිකත්වය ලබා ගත්ත සංගම් ගැන බැලුවත් අපි 40 වැනි තැන ඉන්නවා. ඒ වගේම අපි තමයි දකුණු ආසියාවෙන් මුලින්ම ලෝක මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය ගත්තේ.”

ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,

“අපි මේ සියවැනි මලල ක්‍රීඩා ශූරතාවය පවත්වන්නේ අප්‍රේල් 08,  09 සහ 10 යන තෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි. මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුස්සන් තේරීම සඳහා සලකා බලනවා.

ඒ වගේම අපි දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් කිහිපයකට ආරාධනා කළා ඔවුන්ගේ ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී කරන්න කියලා. ඒ අනුව මැලේසියාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.”

දියගම ක්‍රීඩාංගණයේ ධාවන පථය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන දෙවැනි තරගාවලිය මෙය වන අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල සිදු කරන අලුත්වැඩියා කටයුතු නිසාවෙන් තරගාවලිය දියගම ක්‍රීඩාංගණයට ගෙන ගිය බව එතුමා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය SLT  මොබිටෙල් ආයතනය විසින් ලබාදෙන අතර ඒ පිළිබඳව දැනුවත් කරමින් එහි කොළඹ කලාපීය ප්‍රධානි ඩෙනම් පෙරේරා ප්‍රකාශ කළේ,

“අපි ඉතාමත් සතුටුයි වගේම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සියවසක් සපිරෙන මෙම විශේෂ අවස්ථාව සඳහා ප්‍රධාන අනුග්‍රහයකයින් විදියට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. ඒ වගේම අප ආයතනය විසින් මෙය සාර්ථක කරගන්න අවශ්‍ය සියලුම දේවල් කරන්න ලෑස්තියි කියලත් මම ප්‍රකාශ කරන්න කැමතියි.”

අප්‍රේල් පළමු සතියේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මේ දක්වා දේශීය තරගකරුවන් 520ක් සහ තරගකාරිනියන් 215ක් ලියාපදිංචි වී ඇති අතර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව පාලිත ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔලිම්පික් පිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ප්‍රවීණයින් ඇතුළු පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ මලල ක්‍රීඩා සංගමයේ ආදි සාමාජිකයින් ඇතුළු 400කගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අප්‍රේල් මස 07 වැනිදා පැවැත්වීමට නියමිතයි. එදිනම සවස දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ විශේෂ සැසියක් ද ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 100 වැනි අදියරේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<