යොවුන් ලෝක කුසලානයේ අපේ ප්‍රතිවාදීන්

ICC U 19 Cricket World Cup 2024

115
ICC U 19 Cricket World Cup 2024

15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජනවාරි මස 19 වැනිදා සිට පෙබරවාරි මස 11 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව C කාණ්ඩය නියෝජනය කරමින් සහභාගී වෙනවා. ඊට ශ්‍රී ලංකාව සමඟින් ඔස්ට්‍රේලියාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් ද එක් වෙනවා.

1988 වසරේ දී පළමු වරට පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි 14ට ම සහභාගී වී ඇති ශ්‍රී ලංකාව මෙම තරගමාලාවේ මෙතෙක් පැමිණි ඉහළ ම ස්ථානය වන්නේ 2000 වසරේ දී මෙරට සත්කාරකත්වයෙන් පැවැති තෙවැනි යොවුන් ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගැනීමයි.

මලින්ත ගජනායකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලබා ගනිමින් එකී ස්ථානයට පත් වෙනවා.

ශ්‍රී ලංකාව මේ දක්වා යොවුන් ලෝක කුසලාන තරග 86කට සහභාගී වී ඇති අතර ඉන් තරග 47ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 38ක් පරාජය වී එක් තරග විසඳුමකින් තොරව අවසන් කර තිබෙනවා.

  • සිම්බාබ්වේ: ජනවාරි 21 වැනිදා, KimberleyහීDiamond Oval හි දී.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු වරට යොවුන් ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන්නේ 1988 වසරේදී දකුණු අප්‍රිකාවේ දී පැවැති 2 වැනි ලෝක කුසලාන තරගාවලියේ සිටයි. එතැන් සිට මේ දක්වා සෑම යොවුන් ලෝක කුසලාන තරගාවලියක් සඳහා ම සහභාගී වී ඇති සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලබා ඇති ඉහළ ම ස්ථානය පළමු ලෝක කුසලානයේ දී ලත් 6 වැනි ස්ථානයයි.

මෙම තරගමාලාවන් තුළ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අවස්ථා 2ක දී හමුවී ඇති අතර එම අවස්ථා 2 දී ම ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් ව තිබීම කැපී පෙණෙනවා.

වසර සත්කාරකත්වය ශ්‍රී ලංකා නායක ප්‍රතිවාදී නායක ප්‍රතිඵලය
1998 දකුණු අප්‍රිකාව ප්‍රදීප් හේවගේ Mark Vermeulen ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්.
2018 නවසීලන්තය කමිඳු මෙන්ඩිස් Liam Roche ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.

ඔවුන් මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන්නේ මේ වසර ආරම්භයේ දී අයර්ලන්තය සමඟ පැවැති තරග 2කින් යුත් යොවුන් එක්දින තරගාවලිය 1-1ක් ලෙසින් සම කරමිනුයි.

ඔවුන් එම තරග 2 සඳහා එක් වෙන්නේ 2022 වසරේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක් වීමෙන් අනතුරුවයි.

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Matthew Schonken වෙතයි. ඔහු නිමා වූ 2022 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු සමඟින් කඩුලු රකින්නෙක් ලෙසින් කණ්ඩායම හා එක් වූ Panashe Taruvinga ද නිමා වූ යොවුන් ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළා.

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ සංචිතය:

Matthew Schonken (නායක), Munashe Chimusoro, Shaun Dzakatire, Kohl Eksteen, Panashe Gwatiringa, Nathaniel Hlabangana,  Anesu Kamuriwo, Ryan Kamwemba, Campbell Macmillan,  Newman Nyamhuri, Ronak Patel, Mashford Shungu, Brandon Sunguro, Calton Takawira, Panashe Taruvinga.

  • නැමීබියාව: ජනවාරි 24 වැනිදා, Kimberley හී Diamond Oval හි දී.

නැමීබියාව මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ අප්‍රිකා කලාපයෙන් යොවුන් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හා එක්වෙමින් සුදුසුකම් සපුරා ගනිමිනුයි. එම තරගාවලිය සඳහා නැමීබියාව සමඟින් නයිජීරියාව, සියෙරා ලියෝන්, කෙන්යාව, උගන්ඩාව සහ සත්කාරක ටැන්සානියාව සහභාගී වූවා.

යොවුන් ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් නැමීබියාව සහභාගී වෙන 10 වැනි අවස්ථාවයි මේ. ඔවුන් මේ දක්වා සහභාගී වූ තරගාවලියන්වල දී දක්වා ඇති ඉහළ ම දක්ෂතාව වන්නේ 7 වැනි ස්ථානයට පත් වීමයි. ඒ 2016 වසරේ දී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 11 වැනි ලෝක කුසලානයේ දීයි.

ඔවුන් මෙවර යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වෙන්නේ 2018 වසරට පසුවයි.

මෙතෙක් පවත්වා ඇති යොවුන් ලෝක කුසලාන තරගමාලාවන් තුළ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අවස්ථා 5ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා 4ක දී ශ්‍රී ලංකාව ද සහ අවස්ථාවක දී නැමීබියාව ද ජයග්‍රහණය කර තිබෙනවා.

වසර සත්කාරකත්වය ශ්‍රී ලංකා නායක ප්‍රතිවාදී නායක ප්‍රතිඵලය
2000 ශ්‍රී ලංකාව මලින්ත ගජනායක Jan-Berrie Burger ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.
2002 නවසීලන්තය ධම්මික නිරෝෂන Stefan Swanepoel නැමීබියාවට කඩුලු 4ක ජයක්.
2006 ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් Stephanus Ackermann ශ්‍රී ලංකාවට ලකුණු 137ක ජයක්.
2008 මැලේසියාව අශාන් ප්‍රියංජන් Dawid Botha ශ්‍රී ලංකාවට ලකුණු 163ක ජයක්.
2012 ඔස්ට්‍රේලියාව නිරෝෂන් දික්වැල්ල Stephan Baard ශ්‍රී ලංකාවට ලකුණු 195ක ජයක්.

නැමීබියාව මෙවර තරගාවලිය හා එක් වෙන්නේ අවසන් වරට 2021 වසරේ දී පැවැති අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුවයි. කණ්ඩායමේ නායකත්වය Alexander Busing-Volschenk හිමිව තිබෙන අතර නැමීබියා විස්සයි විස්ස ජාතික කණ්ඩායම නියෝජනය කරන Jack Brassell ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

නැමීබියා වයස අවුරුදු 19න් පහළ සංචිතය:

Alexander Busing-Volschenk (නායක), Hanro Badenhorst, Peter-Daniel Blignaut, Ben Brassell, Jack Brassell, Johannes de Villiers, Faf du Plessis, Junior Kariata, Ryan Moffett, Woutie Niehaus, Nico Pieters, Gerhard Janse van Rensburg, Zacheo van Vuuren, Henry van Wyk, JW Visagie

ඔස්ට්‍රේලියාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ එංගලන්තය සමඟින් තරග 5කින් යුත් එක්දින තරගාවලිය 3-1කින් ජයග්‍රහණය කරමින් සහ තරග 2කින් යුත් යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ලත් අත්දැකීම් ද සමඟිනුයි.

1988 වසරේ දී පැවැති මංගල යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් මෙන් ම 2002 සහ 2010 වසරවල ද ජයග්‍රාහකයන් වන්නේ ඔස්ට්‍රේලියාවයි. ඊට අමතර ව 2012 වසරේ දී සහ 2018 වසරේ දී අනුශූරයන් වන ඔවුන් ආසන්නතම යොවුන් ලෝක කුසලානයේ දී තෙවැනි ස්ථානය දිනා ගනුමිනුයි මෙවර තරගාවලිය හා එක් වෙන්නේ.

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ යොවුන් ලෝක කුසලාන තරග අවස්ථා 7ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් අවස්ථා 4ක දී ඔස්ට්‍රේලියාව ද සහ අවස්ථා 3ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා.

වසර සත්කාරකත්වය ශ්‍රී ලංකා නායක ප්‍රතිවාදී නායක ප්‍රතිළුලය
1988 ඔස්ට්‍රේලියාව රොහාන් වීරක්කොඩි Geoff Parker ඔස්ට්‍රේලියාවට ලකුණු 24ක ජයක්.
2000 ශ්‍රී ලංකාව මලින්ත ගජනායක Michael Clarke ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.
2004 බංග්ලාදේශය ෆර්වීස් මහරූෆ් Tim Paine ඔස්ට්‍රේලියාවට ලකුණු 2ක ජයක්.
2006 ශ්‍රී ලංකාව සමීර සොයිසා Moises Henriqu ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්.
2008 මැලේසියාව අශාන් ප්‍රියංජන් Michael Hill ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.
2010 නවසීලන්තය චතුර පීරිස් Mitchell Marsh ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්.
2022 බ.ඉ. කොදෙව් දුනිත් වෙල්ලාලගේ Cooper Connolly ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්.

මෙවර තරගාවලියට එක් වෙන කණ්ඩායම් අතර දැඩි තරගකාරීත්වයකින් යුත් කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙන ඔස්ට්‍රේලියා කණ්ඩායම වඩාත් හොඳ පෙර සූදානමකිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

ඔවුන් කණ්ඩායම නම් කරන්නේ, නිමා වූ වසරේ දී පැවැති Rodney Marsh කුසලාන වයස අවුරුදු 19න් පහළ ජාතික ශූරතාවලියේ දී දක්ෂතා දැක් වූ බහුතරයකගෙන් ද සමන්විතවයි.

එම තරගාවලියේ අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ Sam Konstas, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ Aidan O’Connor මෙන් ම පසුගිය කාලයේ එංගලනත්ය හා සමඟ පැවැති එක්දින සහ ටෙස්ට් තරගවල දී ශතකලාභී Harry Dixon ද මෙම කණ්ඩායමට ඇතුලත්.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ සංචිතය:

Ryan Hicks, Tom Campbell, Aidan O’Connor, Lachlan Aitken, Charlie Anderson, Harkirat Bajwa, Mahli Beardman, Harry Dixon, Harjas Singh, Sam Konstas, Raf MacMilllan, Tom Straker, Callum Vidler, Corey Wasley, Hugh Weibgen.

2024 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<