කන්ද උඩරට රාජධානිය වර්ණවත් බවින් සහ සාම්ප්‍රදායික උත්සවශ්‍රීයෙන් බැබලීම සාමාන්‍ය දසුනක් වුවත්, මේ වන විට එම ප්‍රදේශය වඩාත් වර්ණවත් වී ඇත්තේ මහනුවර ත්‍රිත්ව සහ සාන්ත අන්තෝනි විද්‍යාල අතර ශත සංවත්සර මහා ක්‍රිකට් ගැටුම අද (10) ආරම්භ වීමට නියමිත වීම හේතුවෙනුයි. පාසල් දෙකේම සංවිධායකයන් තරගයේ උත්සව සිරිය වැඩි කිරීමට වෙහෙසෙද්දී ක්‍රීඩකයන් විසි දෙදෙනෙකු තරග ජයග්‍රහණය සොයා සටන් වදිනු ඇති. මේ සියලු සිදුවීම් වල කූටප්‍රාප්තිය සිදුවීමට නියමිතව තිබෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

67 වැනි රන් සටන අදයි

67 වැනි රන් සටනට වැඩි වාසි සහිතව එක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය, 2011 වසරේ හිමි කර ගත් කුසලානය තම සන්තකයේ තබා ගැනීමට බලාපොරොත්තු වන අතර වේල්ස් කුමර විද්‍යාලය..

1914 වසරේ බෝගම්බර ක්‍රීඩාංගණයෙන් ආරම්භ කෙරුණු කන්ද උඩරට නිල මහා සටන පරම්පරා ගණනක් පසු කරමින් සියවන වරටත් එහි සමාරම්භය සටහන් කරන්නට සැරසෙන අතර අවස්ථා කිහිපයක දී තරගය පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් මහා ක්‍රිකට් තරග ශතකය සඳහා සිය වසකට වඩා මදක් වැඩි කාලයක් ගතව තිබේ.

Trophyඉතිහාසය විමසා බැලීමේ දී මෙම මහා ක්‍රිකට් තරගයේ පිරිනමන කුසලානය එළිදක්වා තිබෙන්නේ 2005 වසරේ දීයි. එය හිටපු ත්‍රිත්ව ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවකු වන ජෝන් හලංගොඩ සිහිවීම පිණිස නම් කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රවාද වල සඳහන් වන්නේ හලංගොඩ පසුව සාන්ත අන්තෝනි විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් ඔවුන්ට පළමු මහා ක්‍රිකට් තරග ජය ලබන්නට 1948 වසරේ දී මග විවර කර දුන් බවයි.

ත්‍රිත්ව විද්‍යාලය කන්ද උඩරට නිල් මහා සටන් ඉතිහාසයේ වැඩි ගෞරවය හිමි කරගෙන සිටින්නේ ජයග්‍රහණ 23කට හිමිකම් කියමිනුයි. සාන්ත අන්තෝනි විද්‍යාලයට හිමිව තිබෙන ජයග්‍රහණ සංඛ්‍යාව 11ක්. අවසන් වරට මෙම මහා ක්‍රිකට් තරගය විසඳුමක් සහිතව අවසන් වුනේ 2012 වසරේ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම වසර 25ක ඉඩෝරය අවසන් කරමින් ඉනිමක සහ එක් ලකුණක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟයි. සාන්ත අන්තෝනි විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය 1991 වසර දක්වා අතීතයට දිව යයි.

පසුගිය වසරෙන්

සාන්ත අන්තෝනි කණ්ඩායමේ නායක කනිෂ්ක උග්ගල්පාය වාර්තා කළ සටන්කාමී ශතකය හේතුවෙන් ඔවුන්ට එම තරගය පරාජයේ අවමානයෙන් බේරා ගන්නට හැකි වුව ද, තරගය පුරා සෑම අංශයකින්ම වඩාත් කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළේ ත්‍රිත්ව විද්‍යාලයයි.

නායකයන්ගේ සටන

Collage-1-TCK-Antonianශත සංවත්සර සටන සඳහා කණ්ඩායම් දෙකටම අත්දැකීම් බහුල නායකයන් දෙදෙනෙක් හිමි වී ඇති අතර ඔවුන් දෙදෙනාම සිය කණ්ඩායම් වෙනුවෙන් ඉහල වගකීම් කර දරන්නන් ලෙස හැඳින්විය හැක.

ත්‍රිත්ව නායක ෂැනොගීත් ශන්මුගනාදන් පසුගිය සතියේ දී ලකුණු 1000 සීමාව පසු කලේ රාජකීය විද්‍යාලයට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකයක් ද සමඟයි. නොකඩවා දෙවන තරග වාරයටත් එම දස්කම පෙන්වූ ඔහු තම සුපිරි පිතිකරණයෙන් මහා තරග ජයග්‍රහණයට මග විවර කිරීමේ අරමුණින් පසුවෙයි.

කන්ද උඩරට මහා ක්‍රිකට් සංග්‍රාමය සජීවීව නරඹන්න – පිවිසෙන්න

පිතිකරණයට අමතරව පන්දු යැවීමේ වගකීම ද තම උර මත පටවා ගත් ශන්මුගනාදන් ත්‍රිත්ව කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ද වෙයි. මෙවර තරග වාරය තුල දී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 75කි. ඔහු ත්‍රිත්ව කණ්ඩායමේ දඟ පන්දු බල ඇණිය මෙහෙයවද්දී ඔහුගේ ප්‍රතිවාදී නායකයා ද එවැනිම තරග වාර්තාවක් සමඟ සටනට එක් වෙයි.

කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලුව ද, මොහොමඩ් අල්ෆර් අවශ්‍ය අවස්ථා වල දී දඟ පන්දු යවන්නෙකු ලෙස ද කණ්ඩායමට සේවය ලබා දී තිබේ. දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව ද ඇති අල්ෆර්, මෙවර තරග වාරයේ දී ලකුණු 650 සීමාව පසු කර ඇති අතර කඩුලු රැකීමේ අත් ආවරණ ගලවා දමා පන්දුව අතට ගත් අවස්ථා 15ක දී ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ඉනිම අවසන් කරන්නට ද ඔහු සමත්ව තිබේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පිතිකරණ අභියෝගය

පල්ලෙකැලේ තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට වැඩි වාසි ගෙන දෙන ස්ථානයක් වන අතර මෙම තරගයේ දී ද වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කළ හසිත බෝයගොඩ ත්‍රිත්ව පිතිකරණයේ ප්‍රධානතම සාධකයක් වෙයි. දකුණතින් පිත්ත හසුරුවන හසිත ලකුණු 700 සීමාව පසු කර සිටින අතර ඔහුගේ හොඳින් පිත්ත හසුරුවමින් ලකුණු 139ක් ලබාගෙන තිබේ. තම පළමු තරග වාරයට ක්‍රීඩා කරන හසින්ත ජයසූරිය ද ලකුණු 500 සීමාව පසු කර ඇත.

ලකුණු 600 සීමාව පසු කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් වන සුනෙර ජයසිංහ සහ මොහොමඩ් අබ්සර් ඔවුන්ගේ පිතිකරණ වගකීමෙන් වැඩි කොටසක් හිස දරන අතර සුනෙරගේ හොඳම ඉනිම ලකුණු 164ක් ලෙස සටහන් වේ.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ අත්දැකීම් බහුල පන්දු බල ඇණිය

සාන්ත අන්තෝනි විද්‍යාලය පසුගිය වසරේ සිටි පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ මෙම තරගයටත් යොදා ගැනීම හේතුවෙන් අත්දැකීම් අතින් ගත් කළ ත්‍රිත්ව විද්‍යාලයට වඩා ඔවුන් බෙහෙවින් ඉදිරියෙන් සිටියි. පසුගිය වසරේ දීත් දස්කම් අතර සිටි දඟ පන්දු යවන ක්‍රීඩක සඳරුවන් ධර්මරත්න කඩුලු 75ක් මෙවර තරග වාරය තුළ දීත් දවා ගෙන තිබීම සාන්ත අන්තෝනි විදුහලට මහත් මානසික සවියක් වනු ඇති.

ඔහුට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක විරාජිත ජයසිංහ ද වැදගත් පන්දු යවන්නෙකු වන්නේ මේ වන විට තම නම ඉදිරියේ කඩුලු 43ක අයිතිය සටහන් කරගෙන තිබීම හේතුවෙනුයි.

ත්‍රිත්ව විද්‍යාලයේ පන්දු බල ඇණිය තරමක් නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් වුවත් ජාතික යොවුන් කණ්ඩායමේ නියෝජනයක් වන තිසරු ඩිල්ශාන් එහි ප්‍රධාන ස්ථානයක් උසුලයි. ඔහුගේ පන්දුවේ රිද්මය මෙම තරග වාරය තුල නිවැරදිව පවත්වා ගන්නට අසමත් වී තිබුනත් ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 30කට කඩුලු 8ක් දවා ගැනීම මගින් ඔහු තම හැකියාව ප්‍රදර්ශනය කර තිබේ.

ත්‍රිත්ව – සාන්ත අන්තෝනි තරග ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට පෙනී යන්නේ ත්‍රිත්ව විද්‍යාලය සෑම විටම වඩාත් ශක්තිමත් කණ්ඩායම ලෙස දිස් වුවත් සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් කිසිවිටෙකත් අවතක්සේරු කල නොහැකි බවයි. ඔවුන් නිරතුරුවම සටන්කාමී මානසිකත්වයකින් පසුවන බව තහවුරු කිරීමට හොඳම උදාහරණය වන්නේ 2014 වසරේ දී නිමේෂ ගුණසිංහගේ නායකත්වයෙන් යුතු සාන්ත අන්තෝනි කණ්ඩායම වාර්තා කල පළමු ඉනිමේ ජයග්‍රහණයයි.

මෙම කණ්ඩායම් දෙකම දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් වීම හේතුවෙන් මාර්තු 10 – 11 දින වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශත සංවත්සර මහා ක්‍රිකට් ගැටුම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

ත්‍රිත්ව විද්‍යාල සංචිතය

ෂැනොගීත් ශන්මුගනාදන් (නායක), හසිත බෝයගොඩ, හසින්ත ජයසූරිය, ශුආයිබ් සලාහුදීන්, පූර්ණ වනසේකර, චන්නක බණ්ඩාර, ත්‍යාගරාජ් බනුගෝබන්, විමුක්ති කොටිකාවත්ත, ටනක චන්ද්‍රරත්න, ට්‍රෙවෝන් වීරසූරිය, රශ්මික තිසරු, හිමංග සූරියම්පොල.

සාන්ත අන්තෝනි සංචිතය

මොහොමඩ් අල්ෆර් (නායක), විරාජිත ජයසිංහ, තීක්‍ෂ ගුණසිංහ, සඳරුවන් ධර්මරත්න, ජනිඳු හිමසර, මොහොමඩ් අබ්සර්, ඩියෝන් ස්ටවුටර්, සුනෙර ජයසිංහ, නිපුන් අශෝක්, ගිහාන් අචින්ත, සසිත් වික්‍රමාරච්චි, කෙවින් ධනංජය, සසිත් හිරුදික.

ThePapare.com හරහා මෙම තරගයේ සියලු සිදුවීම් සජීවීව දැක බලා ගැනීමට ඔබට හැකියාව තිබෙන අතර ඩයලොග් TV නාලිකා අංක 01 (Dialog Now) ඔස්සේ ද මෙම තරගය සජීවීව විකාශය කෙරෙනු ඇත.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<