Chahal සහ Jaiswal වාර්තා අලුත් කරයි

963

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට Rajasthan Royals ක්‍රීඩක Yashasvi Jaiswal ඊයේ (11) සමත් වුනා.

Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයේ දී ඔහු සිය අර්ධ ශතකය පන්දු 13ක් තුළ සම්පූර්ණ කළ අතර මීට පෙර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමව හිමිව තිබුණේ KL Rahul සහ Pat Cummins (පන්දු 14කින්) හටයි.

එමෙන්ම ඊයේ තරගයේ පළමු පන්දුවාරයට ලකුණු 26ක් රැස් කිරීමට Jaiswalට හැකි වූ අතර එය තරගාවලියේ ක්‍රීඩකයෙකු පළමු පන්දුවාරය සඳහා රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙනවා.

තරගාවලිය පුරාවට ඉහළ දස්කම් අතර සිටින Jaiswal මේ දක්වා ඉනිම් 11ක් තුළ ලකුණු 477ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඔහු ඊයේ තරගයේ දී නොදැවී ලකුණු 98ක් රැස් කරමින් සිය කණ්ඩායම පහසු ජයග්‍රහණයකට රැගෙන ගිය අතර ඔහුගේ ඉනිමට සුපිරි ක්‍රීඩකයින් රැසක් සිය සුබ පැතුම් එක් කර තිබුණා.

“පුදුම සහගතයි, මෙය මම ක්‍රිකට් පිටියෙ කලකට පස්සේ දැකපු සුපිරි ඉනිමක්,” යැයි ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli සඳහන් කර තිබුණා.

ඔහුට අමතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක KL Rahul ද සිය වාර්තාව බිඳ හෙලූ යොවුන් ක්‍රීඩකයාට සුබ පැතුම් එක් කර තිබූ අතර දෙවැනි ඉනිමේ පළමු පන්දුවාරය යොමු කළ Kolkata නායක Nitish Ranaගේ පන්දු යැවීමට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සරදම් කර තිබෙනවා.

මීට අමතරව මෙම තරගය තුළ තවත් තරගාවලි වාර්තාවක් බිඳ හෙළමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට Rajasthan Royals ක්‍රීඩක Yuzvendra Chahalට හැකියාව ලැබුණා.

පෙර තරගයේ දී කොදෙව් ක්‍රීඩක Dwayne Bravoගේ වාර්තාව සම කළ ඔහු මෙම තරගයේ දී ඔහු අභිබවා යෑමට සමත් වූ අතර මෙම තරගයේ ලබා ගත් කඩුල්ල සමඟ තරගාවලි ඉතිහාසයේ මේ දක්වා කඩුලු 184ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභියා වීමට ඔහුට හැකියාව ලැබුණා.

2013 වසරේ Royal Challengers Bangalore නියෝජනය කරමින් IPL වරම් ලැබූ Chahal මේ දක්වා Royal Challengers Bangalore, Mumbai Indians සහ Rajasthan Royals නියෝජනය කරමින් තරග 140කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරගවල උණුසුම සජීවීව විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<