වර්ෂාවේ බාධා කිරීම් හමුවේ යශෝධ ලංකා සාර්ථක පිතිකරණයක

497
SLC Premier League

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම අද (27) වර්ෂාව හේතුවෙන් තරමක් නිවී ගියේය. A කාණ්ඩය යටතේ අද ආරම්භ වීමට නියමිතව තිබූ තරග 3 අතුරින් සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයේ ප්‍රථම දිනය වර්ෂාව හේතුවෙන් සේදී ගිය අතර අනෙක් තරග ද්විත්වයේම ක්‍රියාත්මක වූයේ අඩු පන්දුවාර ගණනකි.

වරාය අධිකාරිය පෙරමුණේ

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් තරග කිහිපයක් අද (27) පළමු දිනය සඳහා ආරම්භ වූ අතර…


ගාලු ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා පන්දුවාර 63කට පමණක් සීමාවුනු මෙම තරගයේ කාසියේ වාසිය ගාලු ක්‍රිකට් සමාජයට හිමිවිය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ගාලු පිතිකරුවන් ප්‍රථම දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 208ක් ලබා සිටියි. ගාලු ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක නොවුනු අතර එක් අවස්ථාවකදී ගාලු ඉනිම ලකුණු 67ට කඩුලු 3ක් ලෙස දිස්විය. නමුත් මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසි නිසා දිනය නිමාවන විට තරගය පිලිබඳ යම්කිසි ධනාත්මක බලාපොරොත්තුවක් තබා ගැනීමට ගාලු ක්‍රිකට් සමාජයට හැකිව තිබේ.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන දකුණත් පිතිකරු යශෝධ ලංකා හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ද, දිල්හාන් කුරේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ද ලබා සිටියි. මීට අමතරව දමිත හුණුකුඹුර ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පැමිණ ලකුණු 39ක් රැස් කළේය. BRC කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වුනු දිනුක හෙට්ටිආරච්චි ලකුණු 85කට කඩුලු 3ක් බිඳ හෙලීය.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 208 (පන්දුවාර 63): යශෝධ ලංකා 56*, දිල්හාන් කුරේ 44*, දමිත හුණුකුඹුර 39, දිනුක හෙට්ටිආරච්චි 3/85, භානුක රාජපක්ෂ 1/11.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

අද මග්ගොන සරේ විලේජ් හිදී ආරම්භ වුනු මෙම තරගයටද වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ලවිය. එබැවින් දිනය පුරාවට ක්‍රියාත්මක කල හැකි වූයේ පන්දුවාර 13යි එක් පන්දුවක් පමණි. කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කරගත් අතර දිනය නිමා වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලබා සිටියි. බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක ලකුණු 5ක් ලබා සිටියදී අද දිනයේ යැවූ අවසන් පන්දුවේදී දැවී යාම ඔවුන්ට ප්‍රබල අවාසියක් ඇතිකල සිදුවීමක් බවට පත්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 43 (පන්දුවාර 13.1): ලහිරු ජයකොඩි 20, මොහොමඩ් අක්‍රම් 15*, ප්‍රමෝද් මධුවන්ත 1/0, කෝසල කුලසේකර 1/9.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<