පිටට පේන බඩයි, ඇතුළෙන් විඳවන හිතයි

4103

බඩයි, තට්ටයයි කියන්නේ වයස අවුරුදු 30 පැනපු බහුතර දකුණු ආසියාතික පිරිමීන්ගේ උරුමය!

ඒත් ඒ තට්ටයයි, බඩයි අවුරුදු විස්සෙන්, විසි දෙකෙන් කෙනෙකුට උරුම වෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

ඉන්දියාවේ මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක් වෙන නමක් විදිහට සලකන්න පුළුවන් Prithvi Shawට කොහොම වෙතත්, Shaw ගැන කතා කරන බහුතරයකට තියෙන ලොකු ම ප්‍රශ්නයත් ඒ බඩයි, තට්ටෙයි ම තමයි.

බඩ නම් කෑම නිසා කියන්න පුළුවන්, ඒත් හිස් කෙස් ගැලවී යාම කියන්නේ අපේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකාම වෙන දේවල්.

බඩ වුනත් සමහර විට එළියට නෙරලා එන්න ඒ ඒ මිනිසුන්ගේ ශරීර සැකැස්ම හේතුවක් වෙන බව ප්‍රසිද්ධ කාරණයක්.

ඒ නිසා එහෙම දෙයක් පාදක කර ගනිමින් කෙනෙක් ව සමච්චලයට ලක් කිරීම මොන තරම් සදාචාරාත්මක ද කියන එක ගැන ගැටලුවක් ඉතුරු වෙනවා.

සදාචාරය පැත්තකට ම කරලා දැම්මත් මේ විදිහට සමච්චලයට ලක් වීම වින්දිතයාගේ පාර්ශවයට සෑහෙන්න දරුණු මානසික බලපෑමක් එල්ල කරනවා කියන එක ගැන වත් අඩුම තරමේ සලකා බලන්න අවශ්‍යයි.

ඒත් අවාසනාවකට ඒක එහෙම වෙන්නේ නැති වෙලාවල් තියෙනවා.

ක්‍රීඩකයෙක් පන්දු 153කින් ලකුණු 244ක් ලබා ගත්තාට පස්සෙත්, ඒ වගේ ඉනිමක් උලුප්පනවා වෙනුවට තට්ටය සහ බඩ ඉලක්ක කර ගැනීම තරමක් අසාධාරණයි කියලා ඔබට හිතෙනවා නම් ඔබත් මේ ගැටලුව ගැන සංවේදී වුනා කියලා සතුටු වෙන්න පුළුවන් අයගෙන් කෙනෙක්!

“ඉන්දියාවේ ආහාර රටාව සහ ජාන විද්‍යාව නම් අසමසමයි!

මේ ඉන්නේ 23 හැවිරිදි ඉන්දීය ක්‍රීඩකයෙක්!

දැන් වයස අවුරුදු 23ක් වෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Prithvi Shaw මේ දවස් වල ඉන්නේ එංගලන්තයේ. ඔහු එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ (One Day Cup) Northamptonshire කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගී වෙනවා.

මේ වෙද්දී තරගාවලියේ ඉනිම් හතරක් පමණක් ක්‍රීඩා කරපු Shaw තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නත් සමත් වෙලා තියෙන්නේ. ඔහු දැනට 143ක සාමාන්‍යයක් සමඟ මුළු ලකුණු 429ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

මේ ලකුණු 429න් 244ක් ම වාර්තා වුනේ පෙර සඳහන් කළ ඉනිමේ දී. Shaw විසින් මේ ඉනිම දියත් කිරීමෙන් පසුව තමයි ඉන්දීය – ඇමරිකානු සම්භවයක් ඇති Ankur Nagpal කියන ව්‍යවසායකයා විසින් ඉහත සඳහන Twitter හි තබන්නේ.

මේ අදහස පිරිසක් විසින් තවදුරටත් විහිළුවක් විදිහට ම සලකද්දී තවත් පිරිසක් විසින් මේ ප්‍රකාශයට එරෙහිව හඬ නඟන්න ඉදිරිපත් වෙනවා.

“ක්‍රිකට් ක්‍රීඩාවේ දී විශේෂයෙන්ම පිතිකරුවන්ට, මලල ක්‍රීඩකයන්ට වගේ ශරීර අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ කාලය මැනීම සහ මැණික් කටුව වගේ දේවල්.

ඉන්දීය කණ්ඩායම පෙර සිටියාට වඩා හැඩයෙන් වැඩියි දැන්. මීට වසර දහයකට පෙර කණ්ඩායම දෙස බලන්න. අඩුම තරමේ Tendulkarට වත් Six Pack තිබුණේ නැහැ.

හිස කෙස් හැලීම පරම්පරාගතව එන දෙයක් මිස ඔහුගේ වරදක් නෙවෙයි.”

මේ එවැනි එක් ප්‍රතිචාරයක්. Shaw වෙනුවෙන් තවත් එවැනි ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් සටහන් වෙලා තිබුණා.

නමුත් මේ කතාව තවත් දුරදිග යන්න හේතුවක් වුනේ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු (Social Media Influencer)  විදිහට හඳුන්වා ගන්න Ankur Warikoo විසින් තබපු මේ සටහන එක්ක.

“ඔහුගේ අම්මත් හිතනවා ඇති ඔහු කෙට්ටු වුනා නම් කියලා.”

Ankur Warikoo කියන පුද්ගලයා නොදැන හිටියාට Shawට ඔහුගේ මව අහිමි වෙන්නේ Shawගේ වයස අවුරුදු 4ක් පමණ කුඩා වියේ දී මයි.

ඒ නිසාම ඔහුගේ මේ ප්‍රකාශයටත් සමාජ මාධ්‍ය හරහා සැලකිය යුතු තරමේ විවේචන එල්ල වෙන්න පටන් ගන්නවා.

විශේෂයෙන්ම මේ සිදුවීමේ දී Shawගේ මානසික සෞඛ්‍ය ගැන හිතපු සමාජ මාධ්‍ය පරිශීලකයින්ට විශේෂ ඇගයීමක් ලැබිය යුතුයි.

ඒ සමඟින් ම වගේ Ankur විසින් Shawගෙන් තමන්ගේ සටහන වෙනුවෙන් සමාව ඉල්ලන්නේ තමන් ඒ අහිමි වීම ගැන නොදැන සිටි බව පවසමින්.

මේ විදිහට තමයි පසුගිය දවස්වල Shaw ගැන කතාව කරළියට ආවේ.

පසුගිය අගෝස්තු 09 Shaw විසින් මේ ද්විත්ව ශතකය ලබා ගත්තයින් පස්සේ, ඔහු නැවතත් තරග බිමට පිවිසුණේ පසුගිය 13 වැනිදා. ඔහු ඒ තරගයේ දී තවත් ශතකයක් වාර්තා කරමින් පන්දු 76කින් ලකුණු 125ක් ලබා ගන්න සමත් වුනේ තමන්ට සහ තමන්ගේ ස්වභාවයට එල්ල වුනු නොයෙක් ප්‍රතිචාර කිසිම විදියකින් තමන්ට බලපෑමක් නොවුනු බව පෙන්වන්න වගේ.

Prithvi Shaw ගැන මිනිස්සු කතාබහට ලක් කරන්න පටන් ගත්තේ අදක ඊයේක ඉඳලා නෙවෙයි. 1999 නොවැම්බර් මාසේ 09 වැනි දා උපත ලබපු Shaw ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගන්න සමත් වෙන්නේ වයස අවුරුදු 19 සම්පූර්ණ වෙන්නත් කලින්.

2018 ඔක්තෝබර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තු Shaw විසින් සිය මංගල ඉනිම ශතකයකින් වර්ණවත් කර ගන්නත් සමත් වුනා.

“ඔහු ඉපදිලා ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න.  ඔහු තුළ Sachin (Tendulkar) ගෙන් ටිකක්, Viru (Virender Sehwag) ගෙන් ටික සහ ඇවිදිද්දී Laraගෙනුත් ටිකක් තියෙනවා.”

Shawගේ මුල් කාලයේ දී හිටපු ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයෙක් වෙන Ravi Shastri විසින් Shawව හඳුන්වා දුන්නේ ඒ විදිහට.

ඒත් කාලයක් ගත වෙද්දී මේ හැම දෙයක් ම වෙනස් වෙන්න පටන් ගත්තා.

පසුගිය කාලයේ Shawගේ නම ඇහුණේ ම ක්‍රීඩා දක්ෂතා වලටත් වඩා විනය කඩ කිරීම් සහ විවිධ ආරවුල් සම්බන්ධ කරුණු නිසා.

ඒ අතරේ ම Shaw තමන් සමඟම සෑහෙන්න දරුණු අරගලයක යෙදෙමින් සිටින බවත් මේ කාලය පුරාවට ඔහු කියපු දේවල් වලින් හැඟුණ දෙයක්.

“මිනිස්සු මං ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් මම ගැන දන්න අය දන්නවා මම කවුද කියන්න.

මට යහළුවෝ නැහැ. මම යාළුවෝ ඇති කර ගන්නත් කැමති නැහැ.

මම එළියට ගියොත් මිනිස්සු හිරිහැර කරා වී. ඔවුන් සමාජ මාධ්‍යවල දේවල් දමා වී. ඒ නිසා මේ දවස් වල මම එළියට නෑවිත් ඉන්න වඩා කැමතියි.

මම එළියට ගිහින් මොනවද කරන්නේ. මම කොහේ ගියත් මොනවා ම හරි සිද්ධ වෙනවා. මම පිටතට යාම පමණක් නතර කළා.

මේ දවස් වල මම දිවා සහ රාත්‍රි ආහාරවලට පවා තනියමයි පිටතට යන්නේ. දැන් මම තනියම ඉන්න එක රස විඳින්න පටන් අරගෙන.”

මෙම වසරේ ජුලි මාසයේ දී (Shawගේ අර්බුද බොහෝමයක් සමනය වීමෙන් පසුව) Cricbuzz වෙත අදහස් දක්වමින් තමයි Shaw විසින් මේ ප්‍රකාශය සිදු කරන්නේ.

ඔහු විසින් පසුගිය කාලය තුළ ගෙවා දමපු අසීරු දවස්, මානසික විඳවපු දවස් ඔහුගේ මේ පෙනුමේ වෙනස් වීමට හේතුවක් වුනා වෙන්නත් පුළුවන්.

නමුත් ඔහු දැන් විශේෂයෙන්ම අවධාරණය කරන දෙයක් තමයි තමන් දැන් අලුතින් ම ජීවිතය ආරම්භ කරන්න සූදානම් වන බව.

ඔහු ඒ කියපු දේවල් ගැන විශ්වාස කරපු/නොකරපු ඕනෑම කෙනෙකුට යම් ඉඟියක් ක්‍රියාවෙන් ම ලබා දෙන්න ඉහත සඳහන් වුනු ද්විත්ව ශතකය සහ ශතකය හේතුවක් වුනා කියලා විශ්වාස කරන්න පුළුවන්.

Shaw ගැන කතා වෙද්දී වැඩිම අවධානයක් යොමු වුන ඔහුගේ බඩ සහ තට්ටය කියන්නේ ක්‍රිකට් වලට අතිශය සාමාන්‍ය මාතෘකා.

තට්ටය කියන දේ නම් සම්පූර්ණයෙන්ම ක්‍රීඩාවෙන් ස්වායක්ත නිසා ඒ ගැන කතාව මෙතැනින් අවසන් කරන්න පුළුවන්.

ඒත් බඩ ක්‍රිකට් වල දී නොසලකා හරින්න පුළුවන් ද?

Shawගේ ගැටලුවේ දී ඉස්සරත් මෙහෙමයි, බඩ තිබුණාට මොකද හොඳට සෙල්ලම් කරනවා නම් වගේ හේතු සමඟ මේ කාරණාව සාධාරණීකරණය කරන්න සමහරු ඉදිරිපත් වුනත් මේක කියන තරම් ම සරල කාරණයක් ද?

“ක්‍රීඩකයෙක් (ශරීර ප්‍රමාණයෙන් ස්ථුල අයෙක්) දක්ෂයි නම් ඔහු අසාර්ථක වෙනවා කියලා අපිට කියන්න බැහැ. නමුත් ඔබ ඒ කුසලතාව වටා ඇති ශරීර යෝග්‍යතාව තවත් ඉහළ නැංවුවොත් ඔබේ කුසලතා තවත් කාලයක් පවතී වී.

ඔබට ඒවා ඉහළ තීව්‍රතාවකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි. ඒ වගේම ආබාධ අවම වේවි.

සම්පූර්ණ ශරීර යෝග්‍යතාව නැති ක්‍රීඩකයින් පිටියට පැමිණ කැපී පෙනෙන දක්ෂතා පෙන්වනවා අපි දැකලා තියෙනවා. නමුත් ගැටලුව තමයි ඒ පුද්ගලයා ඊටත් වඩා හොඳ ශරීර යෝග්‍යතාවකින් හිටියා නම් ඒ දක්ෂතා තවත් කොපමණකින් වැඩි වේවි ද කියන එක.”

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩකයෙක් සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් වන Greg King විසින් මේ ගැටලුව ගැන වඩාත් ස්වාධීන මතයක් දරමින් ඉහත ප්‍රකාශය සිදු කරනවා.

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ශරීර ප්‍රමාණයට වඩා දක්ෂතාව ගැන සැලකිල්ලට ගත යුතුයි කියලා ප්‍රචලිත වෙලා ඇති මතය පිළිබඳ ඔහු දක්වන්නේ ඒ විදිහේ අදහසක්.

සරලවම ශරීරයේ ස්ථුල බව සහ දුර්වල ශරීර යෝග්‍යතාවය කියන්නේ ක්‍රීඩකයකුට නෙවෙයි ඕනෑම පුද්ගලයෙකුට අවදානමක් එකතු කරන්න හේතුවක්.

ඉතින් එහෙම අවදානමක් මඟ හරවා ගන්න මිනිස්සු පෙලඹෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැටලුවක්.

සමහර විට ඒ කම්මැලිකම නිසා කියලා කෙනෙක්‍ට හේතු දක්වන්න පුළුවන්.

ඒත් මේක සමහර විට ලෙඩක් වුනත් වෙන්න පුළුවන්!

Bulimia කියන්නේ අධික ලෙස ආහාර ගැනීමට අවශ්‍ය වෙන රෝගයක්. හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Andrew Flintoff මේ රෝගයෙන් පීඩා වින්ද බව පසු කාලයක දී ඔහු විසින් හෙළිදරව් කරනවා.

“සමහර කාලසීමා තිබුණා මම ඒක නොකර හිටපු. ඒ වගේම තවත් සමහර කාලසීමා තිබුණා මට එය (අධික ලෙස ආහාර ගැනීම) කරන්න සිදු වුනු. මේ අවුරුද්දේ මම ඒක කළා.

ඒක හරි නැහැ, එහෙම නේද. මම දන්නවා ඒක හරි නැහැ කියලා. ඒත් මට ඒක නතර වෙන්නේ කවදාද කියලා හරියටම කියන්න බැහැ.”

මේ රෝගය නිසාම තමන්ගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතයේ මුල් කාලයේ තමන් මහත ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට සැලකුම් ලබපු බවත් සමහර වෙලාවට තමන්ට ඒක භයානක හැඟීමක් ඇති කරපු බවත් Flintoff විසින් මෑත කාලයේ දී හෙළිදරව් කරනවා.

Flintoffට තමන්ගේ මහත ගැටලුවක් වුනත් සමහර ක්‍රීඩකයින්ට ඒක ගැටලුවක් නෙවෙයි.

“මගේ කලාපය ඇතුළේ මම ඒ කිසිම දෙයක් ගැන තැකීමක් කරන්නේ නැහැ. ප්‍රේක්ෂකාගාරය තුලින් කියන දේවල් ගැන මම හිතන්නේ නැහැ.”

මේ විදිහට තමන්ගේ මහත සහ ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන අදහස් දක්වලා තිබුණේ පාකිස්තාන තරුණ පිතිකරු Azam Khan විසින්.

කතාවට කියනවා සමහර මිනිස්සු කෑම දිහා බැලුවත් ඇති මහත් වෙනවා කියලා. ඒ වගේ Azam Khan කියන්නේ තමන් වතුර බිව්වත් මහත් වෙනවා කියලයි.

ඒ කොහොම වෙතත් Azam පිළිගන්නවා තමන්ගේ ශරීර ප්‍රමාණය තරමින් වැඩි බව. ඔහු ඒ නිසා තමන්ගේ ආහාර පාලනය කරමින් ඉන්නවා කියලයි කියන්නේ. නමුත් වැදගත් ම දේ තමයි මේ ගැටලුවේ දී Azam මානසික සෑහෙන්න ස්ථාවර මට්ටමක සිටීම.

Azamට මේ මහත ගැන අනිත් මිනිස්සු කියන කතා ගැටලුවක් නොවුනාට සමහර විට කෙනෙක්ට මේ දේවල් මානසික ව විශාල බලපෑමක් ඇති කරන්නත් පුළුවන්.

විශේෂයෙන්ම ක්‍රීඩකයකුට ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යය කියන්නෙත් අත්‍යාවශ්‍ය ම දේවල්!

“ක්‍රිකට් තමයි මගේ ජීවනෝපාය මාර්ගය. මට මගේ පවුල නඩත්තු කරන්න වගේම, මගේ අනාගතය සාර්ථක කර ගන්නත් අවශ්‍යයි.

නමුත් ඔවුන් ඔබට ක්‍රීඩා කරන්න බැහැ සහ තව දේවල් කියද්දී ඒක මට බාධාවක් වෙනවා. ඔබ එන්නේ මගේ ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් විතරක් නෙවෙයි.

මට මගේ පවුල වෙනුවෙන් මුදල් ඉපයීමේ හැකියාව ඔබ මගෙන් උදුර ගන්නවා. ඒක විශාල කලකිරීමක්.

මට ඒ ගැන කතා කරන්න අවශ්‍ය වුනේ නැහැ. මගේ පෙම්වතිය ගැටලුව මොකක් ද කියලා ඇහුවත් මට කියන්න ඕන වුනේ නැහැ. මට අවශ්‍ය වුනේ පුහුණුකරුවන් සමඟ එය විසඳා ගන්න.

මම කවදාවත් මගේ පෙනුම මට අවාසියක් වෙන්න ඉඩ තැබුවේ නැහැ. මම ප්‍රමාණයෙන් විශාල වුනත්, අඩුවෙන් වැඩ කරන්න ඒක නිදහසට කාරණාවක් කර ගත්තේ නැහැ.”

තරමක් ස්ථුල ශරීර ස්වභාවයක් තිබීම ජාතික කණ්ඩායම එකතු වීමට බාධාවක් බවට පත් වූ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Sisanda Magala විසිනුයි ඉහත ප්‍රකාශය සිදු කරන්නේ.

තමන්ගේ ශරීර ප්‍රමාණය දක්ෂතා වලට බාධාවක් නොවුනා වගේම තමන්ගේ නිදහසට ඒක කාරණාවක් කර නොගත්තත් Magalaට ශරීර යෝග්‍යතාව කියන සාධකය හරහට හිටිනවා.

මේක ඔහුගේ හිතට සෑහෙන්න වදයක් වුන බව තමයි ඔහු කියන්නේ.

ස්ථුල ශරීර සහිත ක්‍රීඩකයින් ගැන කතා කරද්දී ඔබට ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් මතකයට එනවා ඇති.

ඒ සමහර ක්‍රීඩකයින් ලෝක පූජිත තත්වයට පවා පත් වූ අය. ඒත් ඔවුන්ට අඩුම තරමේ තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ එකම තැනක දී හෝ මේ ශරීර ප්‍රමාණය ගැටලුවක් ලෙස පැන නැගුණේ නැති ද කියන එක සාකච්ඡාවට ගත යුතු ගැටලුවක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන Rahkeem Cornwall කියන්නෙත් මේ මාතෘකාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා බහට ලක් වෙන ක්‍රීඩකයෙක්.

ඔහු නම් කියන්නේ අධික තරබාරු ව කියන්නේ තමන්ගෙ ශරීරයේ ස්වභාවය බව.

“මට මගේ ශරීරයේ ව්‍යුහය වෙනස් කරන්න බැහැ. මට කියන්න බැහැ මම උස වැඩියි හෝ මහත වැඩියි කියලා. හැමෝම කොට වෙන්නෙත් නැහැ. හැමෝම කෙට්ටු වෙන්නෙත් නැහැ.

මට කළ හැකි දේ තමයි එහි ගොස් මගේ දක්ෂතා පෙන්වීම.”

මේ මාතෘකාව ගැන පහසුවෙන් කතා කරලා ඉවර කරන්න බැහැ. ක්‍රීඩකයකු විදිහට ස්ථුල ශරීරයක් කියන්නේ ක්‍රීඩාවට බාධාවක් නම් ඒක සැලකිය යුතු ගැටලුවක්.

නමුත් ස්ථුල භාවය හෝ බාහිර පෙනුම කියන්නේ විහිළුවකට කාරණයක් නම් ඒක සදාචාරාත්මක බව සම්බන්ධ ගැටලුවක්.

ක්‍රීඩාව රසවිඳින ප්‍රේක්ෂකයින් වුනත් ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් තමන්ට ලබා දිය හැකි සහය ලබා දීම ඉතාම වටින දෙයක්.

Prithvi Shawගේ ගැටලුවේ දී ඔහුට ඒ සහය ලැබුණු බව අපි දැක්කා.

ක්‍රීඩකයින් නෙවෙයි කවුරුන් වුනත් ශාරීරික සෞඛ්‍ය වගේම, මානසික සෞඛ්‍ය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

බඩ වගේම හිතත් පරිස්සමට තියෙන තරමට ඇඟට ගුණයි!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<