ඉන්දීය ප්‍රබලයෙකුට මර බිය සිහි කළ Mumbai Indians සාදය!

2479

Mumbai Indians සහ Royal Challengers Bangalore කණ්ඩායම් නියෝජනය කරමින් වසර ගණනක් පුරාවට සිය පා දඟපන්දුවෙන් පිතිකරුවන් අසරණ කළ Yuzvendra Chahal ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත් වූයේ ද පසුගිය IPL තරගාවලි පුරාවට දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් නිසාවෙනි.

ඒ අනුව මෙවර 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය සඳහා නව කණ්ඩායමක් සමඟින් සිය ක්‍රිකට් දිවියේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන Chahal, Rajasthan Royals සමඟ අලුත් ගමනකට මුල පුරා තිබුණේ කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්වෙමිනි.

කෙසේ නමුත් පසුගිය දිනක RR සමාජ මාධ්‍ය ජාලා ගිණුමක් ඔස්සේ පළකොට තිබූ සුහද සාකච්ඡාවක් අතරතුර දී තම කණ්ඩායම් සඟයින් දෙදෙනෙක් වන Ravichandran Ashwin සහ Karun Nair සමඟ ආන්දෝලනාත්මක කතාමාලාවක් හෙළිදරව් කිරීමට Chahal මුල පුරා තිබුණේ සමස්ත ක්‍රිකට් ප්‍රජාවගේම අවධානය තමන් වෙතට නතු කරගනිමිනි.

2013 වසරේ දී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මතකාවර්ජනයක් සිදු කරමින් Chahal පවසා සිටියේ, MI කණ්ඩායමේ තරග ජයග්‍රහණයකින් අනතුරුව පැවති සම්භාෂණයක් අතරතුර දී එක්තරා ක්‍රීඩකයෙකු අධික ලෙස බීමත්ව පැමිණ තමන් තට්ටු 15ක ගොඩනැඟිල්ලකින් බිමට තල්ලු කිරීමට උත්සාහ කළ බවයි.

“මම මේ කතාව ගැන මීට කලින් කොහේදිවත් සඳහන් කරලා නැහැ. මේ සිදුවීම වුනේ 2013 වසරේ දී. එතකොට මම ක්‍රීඩා කළේ Mumbai Indians කණ්ඩායමට. ඔය කියන තරගය පැවැත්වුණේ Bangalore කණ්ඩායමට එරෙහිව. ඒ තරගය ජයග්‍රහණය කළාට පස්සේ ක්‍රීඩකයින් සතුට සමරන්න එකට එකතු වුනා. ඒ වෙලාවේ දී සමහර ක්‍රීඩකයෝ අධික ලෙස බීමත්ව හිටියේ.”

“ඔය අතර එක්තරා ක්‍රීඩකයෙක් කියලා මම කියන්නන් මොකද මම ඔහුගේ නම සඳහන් කරන්න කැමති නැති නිසා. ඔහු හිටියේ හොඳටම බීමත්ව. ඔහු මගේ නම කියලා උස් හඬින් මට කතා කළා. මම ඊට පස්සේ ඔහු ඉන්න තැනට ගියා. එකපාරටම ඒ ක්‍රීඩකයා මාව බැල්කනියෙන් එළියට ඇඳලා දමන්න උත්සාහ කළා. වෙලාවට මම ඔහුගේ කර වටෙන් අල්ලා ගෙන හිටියා. යම් විදියකින් එහෙම බැරි වුනා නම් මම අනිවාර්‍යෙන්ම තට්ටු 15කින් බිමට ඇඳගෙන වැටෙන එක නවත්වන්න බැහැ.”

“මගේ වාසනාවට ඒ අවට හිටිය ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ඉක්මනට එතනට ඇවිල්ලා තත්වය පාලනය කරන්න සමත් වුනා. මට ආපු තැතිගැන්මට එක්වරම මම සිහිසුන්ව ඇඳ වැටුණා.

මාව පියවි තත්වයට ගේන්න ලොකු උත්සාහයක් ගත්තා කියලා පස්සේ මට දැනගන්න ලැබුණා. මට එදා තමයි තේරුම් ගියේ ක්‍රීඩකයෝ විදියට අපි ක්‍රීඩා පිටියේ ඇතුලේ දී වගේම පිටත දීත් ඉතාමත් වගකීම් සහගතව හැසිරෙන්න ඕනෑ. මගේ පෙර වාසනාවකට මම එදා බේරුණාට මම මගේ ජීවිතය ලොකු අවදානමක හෙළුවා.”

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<