ධවාන්ගේ දිරිගැන්වීම උපහාසයක් විය හැකිය

9109
Shikhar Dhawan must be kidding!

ලැජ්ජාවට පත්වීම පුරුද්දක් බවට පත්කරගනිමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියානු ක්‍රීඩකයන්ගේ උසුළු විසුළු සහ ඇතැම් විට “උපහාසාත්මක දිරිගැන්වීම්”ද දිගින් දිගටම ලැබෙමින් පවතියි. ශිඛර් ධවාන්ද ඊට අලුතින් යමක් එකතු කර තිබේ.

ධවාන්, පසුගියදා අවසන් වූ ටෙස්ට් සංචාරයට එක්වන්නේ දස්කම් අතර සිටින්නෙකු වශයෙන් නොවේ. මුරලි විජේ සතු ඉන්දීය ටෙස්ට් ආරම්භක පිතිකරුගේ ස්ථානය වෙත පැමිණෙන ධවාන්, ගාල්ලේදී සහ පල්ලෙකැලේදී පැවති ටෙස්ට් තරග දෙකේදීම ශතක වාර්තා කළේ නොනවතින වේගයකින්.

ඊයේ (20) ඇරඹි ඉන්දීය – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයේදීද නොදැවී ශතකයක් වාර්තා කරන්නට ධවාන් සමත් වුනේ ඉන්දීය කණ්ඩායමට පහසු ජයක පහසද රැගෙන එමින්. පන්දු ඕවර 21.1ක් තුළ ලකුණු 216ක ඉලක්කය හඹාගිය ධවාන් රැස්කළ ලකුණු සංඛ්‍යාව පන්දු 90කට 132කි. තරගයෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය හමුවේ ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මට පුංචි පසුබැසීමක් තිබුණා. ඒත් මං ඒ ගැන හිතුවෙ නෑ, මොකද, එන දෙයක් එන වෙලාවට එයි. මං හොඳින් ක්‍රීඩා නොකරනකොට මං බැලුවේ මගේ ක්‍රියා පටිපාටිය ගැනයි. මං හොඳින් කරනකොටත් මං බලන්නෙ ඒක ගැනමයි.”

“මේ ළාබාල ශ්‍රී ලංකා කණ්ඩායමක්. ඒ අය සංක්‍රාන්ති සමයකයි ඉන්නේ. ඒත් මේ ළාබාලයෝ ඉක්මනින් පරිණත වේවි. ජාත්‍යන්තර තරගවලදී ඔබට අත්දැකීම් අවශ්‍යයි.”

එයද උපහාසාත්මක ය.  එක්දින තරග 87ක් පමණක් ක්‍රීඩා කර ඇති ධවාන් මේ කතා කරන්නේ කා ගැන දැයි අපි මොහොතකට බලමු.

එක්දින තරග 200ක් ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග, එක්දින තරග 208ක් ක්‍රීඩා කර ඇති උපුල් තරංග, එක්දින තරග 188ක් ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ මැතිව්ස්, එක්දින තරග 120ක් ක්‍රීඩා කර ඇති තිසර පෙරේරා, එක්දින තරග 99ක් ක්‍රීඩා කර ඇති චාමර කපුගෙදර යන ක්‍රීඩකයන්ට, එක්දින තරග 87ක් පමණක් ක්‍රීඩා කර ඇති ධවාන් අමතන්නේ “ළාබාලයන්” ලෙසයි. මෙම වදන් පරිණතභාවය ගැන මනා පැහැදිලි කිරීමකි. ඔබේ තරග ප්‍රමාණය වැදගත් නැත. ඔබේ මනස පරිණත නොමැති නම්.

එක්දින තරග 100ක පමණ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් 5 දෙනෙකු සහ ළාබාල ක්‍රීඩකයන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුට පෙනෙන්නේ ළාබාලයන් හැටියට වුවත් එය එසේ දැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතු වේ. තවත් බොහෝ දෙනෙකුට ඔවුන් ළාබාලයන් බව පෙනුනත් අප මේ  පහත හෙලන්නේ එක්දින තරග 500කට අධික අත්දැකීම් ය.

“මං ඔවුන්ට අසාධාරණයක් කරන්න කැමති නැහැ. ඔවුන් මං ක්‍රීඩා කරපු වැඩක් නැතිම පන්දු යැවීමේ බලඇණිය කියලා මං කියන්න කැමති නැහැ. ඔවුන්ගේ වමතින් වේගපන්දු යවන්නා (විශ්ව ප්‍රනාන්දු) හොඳ වේගයකින් පන්දු යවනවා. ඔවුන්ට හොඳ වේගපන්දු බල ඇණියක් තියෙනවා.”

ධවාන් කීවේය.

සෑම අංශයකින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දොස් පැවරෙන මේ මොහොතේදී ඔවුන්ව දිරිගන්වන්නේ ඉන්දියානු කණ්ඩායමයි. අප එතරම් බංකොලොත් වී ඇත. කෙමෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ මට්ටමට පහත වැටෙමින් පවතින බවද ඊයේ දඹුල්ලේදී ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ “හූ” පහරවලින් වැටහෙයි.

අප ළාබාල කණ්ඩායමක් බවත්, අප සංක්‍රාන්තියක සිටින බවත් දිගින් දිගටම අපට කියමින් අපව ඇන්දවූ අය කවුරුන්දැයි දැන්වත් වටහාගත යුතුය. මහේල ජයවර්ධන කණ්ඩායම හැරගොස් වසර දෙකකුත් ඉක්ම යයි. කුමාර් සංගක්කාර කණ්ඩායමේ නොමැතිව ගතවූ කාලයද එවැනි ය. ඩිල්ෂාන් කණ්ඩායම හැරයන්නේ වසරක පමණ කාලයකට පෙර යි.

එසේ නම් මේ පැහැදිලි වන්නේ අත්දැකීම් අඩුකමක් නොව අපගේ නොහැකියාවයි. මානසිකත්වයේ අඩුපාඩු යි. මේ “ළාබාල තර්කය” අප වහාම අත්හල යුතුය. නැතහොත් මේ සංක්‍රාන්ති සමය නිමනොවන එකක් විය හැකිය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට