පවුම් ලක්ෂයකට වනිඳු Manchester Originals කණ්ඩායමට

5169

එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred ක්‍රිකට් තරගාවලියේ Manchester Originals කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබෙනවා. 

අද (05) පැවති ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා හසරංග පවුම් 50,000 කාණ්ඩය යටතේ ඉදිරිපත් වුවත් ඔහුව පවුම් 100,000ක වටිනාකමක් යටතේ මිල දී ගැනීමට Manchester Originals හිමිකරුවන් කටයුතු කළා.

එම කණ්ඩායම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Andre Russell පවුම් 125,000ක මුදලකට මිල දී ගැණුනු අතර අනෙක් විදෙස් ක්‍රීඩකයා ලෙස Sean Abbott පවුම් 60,000ක මුදලකට මිල දී ගෙන තිබුණා.

මේ වසරේ පැවැත්වෙන The Hundred තරගාවලියේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම සඳහා වනිඳුට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 20කට අධික පිරිසක් ලියාපදිංචි කර තිබූ නමුත් මෙතෙක් කණ්ඩායමකට තෝරාගෙන ඇත්තේ වනිඳු හසරංග පමණයි.

මෑත කාලයේ දී සීමිත පන්දුවාර පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ හසරංග 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුනා. ඔහුව 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore විසින් කැපී පෙනෙන වටිනාකමක් යටතේ මිල දී ගැනීම කාගේත් අවදානයට ලක් වුනා.

වනිඳු The Hundred තරගාවලිය නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වන අතර තරගාවලිය අගෝස්තු 03 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<