ඩයමන්ඩ් ලීගයේ 5 වැනි තැන යුපුන්ට

Zurich ඩයමන්ඩ් ලීග් තරගාවලිය 2022

443

මලල ක්‍රීඩා පිටියේ ප්‍රකට තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මෙවර අදියරේ අවසන් තරගය වන Zurich ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි මීටර් 100 අවසන් තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් එය පස්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනා.

ලොව ප්‍රබල ක්‍රීඩකයින් සමඟින් තරග වැදුණු යුපුන් එම තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කළ අතර එම ඉසව්වේ ජය හිමි වුනේ තත්පර 9.94ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇමරිකානු ක්‍රීඩක Bromell හටයි.

යුපුන් මෙවර තරග වාරයේ ඩයමන්ඩ් ලීග් තරගාවලි දෙකකට සහභාගී වූ අතර එම තරගවලින් ලැබූ ප්‍රසාද ලකුණු මත ඔහු මීටර් 100 ධාවක ලැයිස්තුවේ 8 වැනි තැන හිමිකර ගනිමින් මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඔහු ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් තරගය වන Zurich ඩයමන්ඩ් ලීග් තරගාවලියට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු පසුගිය වසරේ ද අවසන් තරගය නියෝජනය කළා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කෙටිදුර ධාවකයා ලෙස සැලකෙන යුපුන් අබේකෝන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව සහභාගී වූ පළමු තරගය මෙයයි.

එමෙන්ම ආසියානු කලාපයට මීටර් 100 ඉසව්වෙන් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම දිනා දීමට ද සමත් වූ යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් එම ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානුවා ලෙස ද ඉතිහාසයට එක් වුනා.

මෙම තරගයත් සමඟින් යුපුන්ගේ මෙවර තරග වාරයේ තරග අවසන් වූ අතර මලල ක්‍රීඩා පිටියේ සුවිශේෂී තරග පැවැත්වෙන 2023 වසරේත් මෙම දස්කම් වර්ධනය කර ගනිමින් ලක් මාතාවට ජයග්‍රහණ ලබා දීමට ඔහුට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com පතන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<