නව රිටි පැනීමේ වාර්තාවක් සමඟින් නිමා වුනු පළමු දිනය

ආසියානු මලල ක්‍රීඩා සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලිය 2022

249

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලිය අද (17) ආරම්භ වුනා.

මෙම සුදුස්සන් තේරීමේ තරගාවලිය සැප්තැම්බර් 17 සහ 18 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේ කැපී පෙනෙන තරග ඉසව් කීපයක් පැවැත්වුනා. දිනයේ වැඩි ගෞරව හිමි වුනේ ශ්‍රී ලංකා යුධ හමුදාවටයි.

පිරිමි තරග ඉසව්

දිනයේ පැවති රිටි පැනීමේ තරග ඉසව්වේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒ. පුවිතරන් සමත් වුනා. එහි දී ඔහු දැක්වූ දක්ශතාවය මීටර් 5.15ක්.

දිනයේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ තරග ඉසව් වූයේ මීටර් 100, මීටර් 400 සහ මීටර් 800 තරග ඉසව් තුනයි.

මීටර් 100 තරග ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ වයි. සී. එම්. යෝධසිංහ සමත් වුනා. එහි දී ඔහු දැක්වූ දක්ශතාවය තත්පර 10.53ක්.

එහි දෙවැනි ස්ථානය සහ තුන්වැනි ස්ථානය යුධ හමුදාවේම එම්. වී. එස්. සිල්වා සහ ඩී. එස්. රත්නසිරි සතු වුනා.

මීටර් 400 ඉසව්වේ ද ආධිපත්‍ය යුධ හමුදාව සතු වූ අතර කාලිංග කුමාරගේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර ආර්. එම්. ආර්. එන්. රාජකරුණා සහ කේ. කේ. පබසර පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානය දිනා ගත්තා.

යුධ හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම මීටර් 800 තරග ඉසව්වේ දී ද සිය ප්‍රබලත්වය පෙන්වූ අතර එහි අවසන් වටයේ දී මුල් ස්ථාන තුනම යුධ හමුදාව සතු වුනා. ආර්. පී. පී. පුෂ්පකුමාර ප්‍රථම ස්ථානයත්, එස්. බී. අත්තනායක දෙවැනි ස්ථානයත්. එච්. එම්. එස්. කුමාර තුන්වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.

දිනයේ පැවති රිටි පැනීමේ තරග ඉසව්වේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒ. පුවිතරන් සමත් වුනා. එහි දී ඔහු දැක්වූ දක්ශතාවය මීටර් 5.15ක්.

කාන්තා තරග ඉසව්

දිනයේ පැවති තරග ඉසව් අතරින් මීටර් 100, මීටර් 400 සහ මීටර් 800 බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.

මීටර් 100 තරග ඉසව්ව තත්පර 11.93කින් නිමා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුධ හමුදාව නියෝජනය කළ මේධානි ජයමාන්න සමත් වුනා. එහි දෙවැනි ස්ථානය ශෙලින්ඩා ජැන්සන් හිමිකර ගත් අතර තුන්වැනි ස්ථානය රුමේෂිකා රත්නායකට හිමි වුනා.

මීටර් 400 ඉසව්වේ පළමු ස්ථානය යුධ හමුදාවේ ආර්. නදීශා හට හිමි වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථානය පිළිවෙළින් එන්. එච්. ප්‍රනාන්දු සහ එස්. එච්. ප්‍රනාන්දු විසින් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීටර් 800 ඉසව්වේ සිය ආධිපත්‍ය තහවුරු කළ අතර පළමු සහ දෙවැනි ස්ථාන පිළිවෙළින් එල්. ඒ. නිමාලි සහ එම්. ඒ. කුමා‍රි දිනා ගැනීමට සමත් වුනා. යුධ හමුදාව නියෝජනය කළ ඉසංකා ගයානි රණසිංහ එහි තුන්වැනි ස්ථානයට පත්වුනා.

පළමු දිනයේ සියලු තරග ඉසව්වල තොරතුරු මෙතැනින්

සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය හෙට (18) පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් උණුසුම් වන දෙවැනි දිනයේ තොරතුරු ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<