ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

459

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

කොළඹ අවට ප්‍රදේශවල පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තීරණය ගෙන තිබෙන අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය එම තීරණය සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය පෙර සැලසුම් කළ දිනවල දී (ජූලි 24 – 28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එසේම පසුගිය දා 1-1ක් ලෙස අවසන් වුනු  ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වුණු අතර පාකිස්තාන තරගාවලියේ ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ගාල්ල ක්‍රීඩාංගණයේ දී අඛණ්ඩව ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා.

1982 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල එකම ක්‍රීඩාංගණයක අඛණ්ඩව ටෙස්ට් තරග තුනක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<