ජාතික තලයට වරම් දිනන අවසන් තේරීම් තරගාවලිය

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2022

213

ජාතික මලල ක්‍රීඩා පිටියේ මෙම වසරේ අවසාන තරගාවලිය ලෙස ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිත අවසන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය මෙම සති අන්තයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ මස 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ඉහත තරගාවලි සඳහා සංචිත තේරීම සඳහා වන අවසන් තරගාවලිය බවත්, ඉන්පසුව පැවැත්වෙන තරගාවලි අදාළ ඉසව් ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

එම නිසාවෙන් ජාතික මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය නියෝජනය කිරීම නිසා වැඩි තරගකාරිත්වයක් අපේක්ෂා කළ හැකි.

තරගාවලියේ පළමු දිනයේ දී ප්‍රධාන ඉසව් ලෙස කාන්තා හා පිරිමි මීටර් 100 සහ 400 මූලික තරග සහ අවසන් තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කාන්තා මීටර් 100 ඉසව්වේ වත්මන් ජාතික ශූරිය වන අමාෂා ද සිල්වා විදේශ පුහුණුවකට එක්ව ඇති නිසාවෙන් තේරීම් තරගාවලියේ ජයග්‍රහණයට හොඳ තරගයක් අපේක්ෂා කිරීමට හැකි.

පිරිමි ඉසව්වේ මෑත කාලයේ දේශීය පිටියේ දස්කම් දැක්වූ චමෝද් යෝධසිංහ, කවිඳු නිමේෂ් වැනි ක්‍රීඩකයින් අතර තරගයේ ජයග්‍රහණය හුවමාරු  වනු ඇත.

කාන්තා මීටර් 400 ඉසව්ව මෙවර වැඩි අවධානය දිනා ගන්නා ඉසව්ව ලෙස හැඳින්විය හැකි අතර එහි ජාතික ශූරිය තරුෂි කරුණාරත්න, හිටපු ජාතික ශූරිය නදීෂා රාමනායක මෙන්ම ආබාධයක් නිසා කලක් පිටියෙන් ඉවත්ව සිටි ඩිල්ෂි කුමාරසිංහ ද මෙවර තරගාවලිය නියෝජනය කිරීමට ඉඩක් ඇති නිසාවෙන් එම ක්‍රීඩිකාවන් පිළිබඳව වැඩි අවධානයක් හිමිව ඇත.

සුපුරුදු පරිදි පිරිමි මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය වත්මන් ජාතික ශූර කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අතර හුවමාරු වීමට වැඩි ඉඩක් පවතී.

එදිනම සවස් වරුවේ කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් තරග පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර එම ඉසව්ව සඳහා ඩිල්ෂි කුමාරසිංහ, තරුෂි කරුණාරත්නට අමතරව ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා අබේරත්න සහභාගී වුවහොත් හොඳ සටනක් දැක බලා ගැනීමට හැකි වනු ඇත.

තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එදින වැඩි අවධානයක් හිමි වන ඉසව් ලෙස කාන්තා සහ පිරිමි මීටර් 200 අවසන් තරග සහ මීටර් 100X4 සහ 400X4 යන ඉසව් හැඳින්විය හැක.

කාන්තා මීටර් 200 ඉසව්ව පිළිබඳව අවධානය යොමු කරද්දී එහි වත්මන් ශූරිය වන මේධානි ජයමාන්න සහ හිටපු ශූරිය වන නදීෂා රාමනායක එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩ කඩක් ඇති ක්‍රීඩිකාවන්.

එම ඉසව්වලට අමතරව තරගාවලියේ දෙවැනි දිනයේ දී කාන්තා හා පිරිමි මීටර් 1500, කාන්තා මීටර් 100 කඩුලු සහ පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ අවසන් තරග ද පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<