ඩයමන්ඩ්‌ ‌ලීගයේ‌ ‌හොඳම‌ ‌ධාවකයින්‌ ‌අතරට‌ ‌යුපුන්ගේ‌ ‌නමත්‌ ‌ ‌

895

මලල ක්‍රීඩා පිටියේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ 2021 තරග වාරයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් හොඳම ක්‍රීඩකයන් 8 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකිව තිබෙනවා.

මේ පිළිබඳව යුපුන් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබූ අතර ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙය ඔහුට ගෞරවයක් සහ එය තම ක්‍රීඩා දිවියේ ලද විශාල ජයග්‍රහණයක් ද වන බවයි.

එමෙන්ම යුපුන් සිය දෙවැනි ඩයමන්ඩ් ලීග් තරගාවලිය ලෙස මෙම මස 8 සහ 9 දිනවල ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත ප්‍රකට Zurich ඩයමන්ඩ් ලීග් අදියරට සහභාගී වන බව ද තහවුරු කර තිබුණා.

එහි දී ඔහු පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඔහු සහභාගී වන අවසන් තරගය සැප්තැම්බර් 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ලොව ප්‍රමුඛ පෙළේ තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. යුපුන් මීට පෙර ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියක් නියෝජනය කරමින් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම ඩයමන්ඩ් ලීග් අදියරක් නියෝජනයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ද යුපුන්ට හැකි වූ අතර එහි දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුට වසර 25කට පසු මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලැබූ පළමු ක්‍රීඩකයා වීමට ද හැකි වුනා.

මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් අවසන් කරමින් එහි දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා ද්විත්වයම තමන් සතු කර ගැනීමට යුපුන් පසුගිය වසරේ දී සමත් වුනා.

Zurich ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දස්කම් දක්වමින් ශ්‍රී ලංකා මාතාවට ජාත්‍යන්තර තලයේ ගෞරවයක් දිනා දෙන්නට යුපුන් අබේකෝන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<