යුපුන් ඔලිම්පික් සිහිනයට තවත් ළං වෙයි

191

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ දින 57ක් වැනි කාලයක් වුවත් එයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවත් ඉතිරිව ඇත්තේ තවත් දින 33ක් වැනි කෙටි කාලයක් පමණයි. ඒ සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 29 වැනිදායින් අවසන් වන නිසාවෙනි.

ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙන මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ වරම් දිනා ගත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේ අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරන මැතිල්ඩා කාර්ල්සන් පමණක් වන අතර බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරන නිලානි රත්නායක ද තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට විශාල ඉඩක් ඇති ක්‍රීඩිකාවකි.

එමෙන්ම පසුගිය දින කිහිපයේ දී වඩාත්ම කතා බහට ලක් වූ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රීඩක වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු මත තවත් ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.

පසුගිය සතියේ දී එම වර්ගීකරණයේ 68 වැනි ස්ථානයේ පසු වූ යුපුන් අබේකෝන් සිකුරාදා (21) පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක කාලයකින් අවසන් කරමින් දැක්වූ දස්කම නිසා 58 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.

යුපුන් එම තරගාවලියට පෙර වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 1152ක් ලබා ගනිමින් 68 වැනි ස්ථානයේ පසු වූ අතර එම තරගාවලියේ දී ලද ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු 23ක් ලබා ගනිමින් (මුළු ප්‍රසාද ලකුණු 1175) ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මෙම වර්ගීකරණයට අනුව ක්‍රීඩකයන් 56 දෙනෙකුට ඔලිම්පික් වරම් දිනා ගැනීමට ලැබෙන අතර අවසන් ක්‍රීඩකයා (56) ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1176ක්. එනම් යුපුන්ට එම ක්‍රීඩකයන් 56 තුළට ඇතුල් වීමට තවත් අවශ්‍ය තවත් ප්‍රසාද ලකුණක් පමණි.

එමෙන්ම යුපුන් ලෝක ක්‍රීඩක වර්ගීකරණයේ ද 77 වැනි ස්ථානයේ පසුවන අතර ඔහු 195 වැනියා සිට 77 වැනියා දක්වා ඉදිරියට පැමිණියේ තරගාවලි දෙකක දී දැක්වූ දස්කම් නිසා වීම විශේෂත්වයක්. 

තවත් ක්‍රීඩා පුවත්: 

නමුත් ජුනි මුල් සතියෙන් පසු ජාත්‍යන්තර පිටියේ මීටර් 100 තරග විශාල සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව ඇති නිසා යුපුන් හට ඉදිරියේ දී පැවැත්වෙන තරගවල දී ද හොඳ කාලයන් සමඟින් ඉහළ දස්කම් දක්වමින් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් වේ.

එසේත් නොමැති නම් ඉදිරි තරගාවලියක දී යුපුන් විසින් ඔලිම්පික් පරිසාධන සීමාව වන තත්පර 10.05ක කාලය අභිබවා යෑමට සමත් විය යුතුයි.

යුපුන් ඉතාලියේ වාසය කරමින් තරගාවලිවලට සහභාගී වන නිසාවෙන් මෙරට අනෙක් ක්‍රීඩිකාවන්ට වඩා වැඩි තරගාවලි සංඛ්‍යාවකට සහභාගි වීමේ අවස්ථාව ඔහුට හිමි ව තිබීම වාසිදායක වේ.

එම තරගාවලිවල දී ඉහළ දස්කම් දක්වමින් ප්‍රසාද ලකුණු ගණන ඉහළ නංවා ගැනීමට යුපුන්ට හැකි වුවහොත් මෙරට කෙටිදුර ධාවනය බොහෝ කලකට පසු ඔලිම්පික් වෙත ගෙන යාමට ඔහුට හැකි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<