ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්රිකට් තරගාවලියේ අද (19) නිමා වූ දෙරට අතර පැවැති 3 වැනි තරගයේ දී කඩුලු 5ක ජයග්රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්රීඩකයෝ සමත් වෙනවා.
ඒ සමඟින් ඔවුන් මෙතෙක් මෙම තරගාවලියේ අවසන් වූ තරගවල දී තරග 2-1ක් ලෙසින් පෙරමුණට ද පැමිණියා.
>>පාකිස්තාන 17න් පහළ ක්රීඩකයෝ එකට එක කරයි
Multan ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්රීඩකයෝ තවත් පන්දු 49ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
මෙම තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමට පෙර තරගය හා එක් වූ යෙනුල හේවාවිතාරණ සහ තිසඟ පෙරේරා වෙනුවට ශැනෝන් සිල්වා සහ චෙනුල් හතරසිංහ එක් කර තිබූ අතර පාකිස්තානය මෙම තරගයේ දී Mohammad Ihsaan වෙනුවට Hassan Ali එක් කර ගෙන තිබුණා.
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, ශැනෝන් සිල්වා, රෙශෝන් සොලමන්ස්, චෙනුක දොඩංගොඩ, සශිත් බණ්ඩාර, සඳරු මල්ශාන්, අදීශ ලක්ශාන්, මහිරු කොඩිතුවක්කු, චෙනුල් හතරසිංහ සහ තාරුක සමන්ජිත්.
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
Azan Ahmed (නායක), Sudais Ahmed, Daud Tauqeer Rana, Mohammad Yousaf, Mohammad Naveed, Hamid Raza, Arsalan Hassan (කඩුලු රකින්නා), Fahad Iqbal, Ammar Khan, Mohammad Saim සහ Hassan Ali.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මැද පෙළින් පිටියට පිවිසි උප නායක සඳරු මල්ශාන්. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු මෙතුක ගුණරත්න ද පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා. අද ඔහුගෙන් එක් ලකුණකින් ගිලිහී ගියේ මෙම තරගාවලියේ තම 2 වැනි අර්ධ ශතකයයි. ඔහු ජයග්රාහී පළමු තරගයේ දී ලකුණු 77ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනාට අමතර ව චෙනුක දොඩංගොඩ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද සහ ඉනිම අවසන් වෙද්දී චෙනුල් හතරසිංහ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්තා.
අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වූ අතර එහි දී Fahad Iqbal ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Daud Tauqeer Rana සහ Ammar Khan කඩුලු ද්විත්වය බැගින් ද, Hassan Ali සහ Mohammad Saim කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- 17න් පහළ තුන් දින තරගය විසඳුමක් නෑ
- නාලන්දා විද්යාලයට කඩුලු 9ක ජයක්
- මෙතුක සහ සඳරු ගේ දක්ෂතා 17න් පහළ කණ්ඩායමට ජය ගෙනෙයි
- Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්
- Hong Kong යන ශ්රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක Azan Ahmed. ඔහු තරගය ජයග්රහණය කරද්දී පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටියා.
ඊට අමතර ව Mohammad Yousaf පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද සහ Mohammad Naveed පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව පාකිස්තාන ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Sudais Ahmed සහ Daud Tauqeer Rana සමත් වෙනවා. එහි දී Daud Tauqeer Rana පන්දු 28ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ද සහ Sudais Ahmed පන්දු 17ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අදීශ ලක්ශාන් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සශිත් බණ්ඩාර, චෙනුල් හතරසිංහ සහ මහිරු කොඩිතුක්කු කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 159 (44.0) මෙතුක ගුණරත්න 49, සඳරු මල්ශාන් 52, Fahad Iqbal3/34, Daud Tauqeer Rana2/10, Ammar Khan 2/31
- පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 160 (41.5) Mohammad Yousaf22, Azan Ahmedනොදැවී 63, Mohammad Naveed 20, අදීශ ලක්ශාන් 2/34
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Azan Ahmed (පාකිස්තානය)
දෙරට අතර පැවැත්වෙන 4 වැනි එක්දින තරගය මේ මස 21 වැනිදා Multan හි දී ම පැවැත් වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















