බලාපොරොත්තු සුන්ව අවසන් වූ ජාතික ශූරතාවය

197

මෙරට මලල ක්‍රීඩාවේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ 99 වැනි අදියර පසුගිය 21 වැනිදා (සිකුරාදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

අදියර හතරක් යටතේ පැවැත්වීමට තීරණය කළ මෙවර තරගාවලියේ පළමු අදියරේ සියලූම ඉසව් 21 වැනිදා පවත්වා අවසන් කළ අතර මෙම වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙවර තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් එකක් වුනා.

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය ලෙස මෙය පැවැත්වීමට කටයුතු කළ නිසාවෙන් පළමු අදියර සඳහා ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතින ඉසව් පමණක් එක් කිරීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබුණා.

නමුත් තරගාවලියේ දී සිතූ ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූයේ මීටර් 3,000 ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායකට (මිනිත්තු 9:53.96) පමණක් වූ අතර අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතාවයන්ට වඩා අඩුවීම ද කැපී පෙනුණා.

තරගාවලියේ දී අමාෂා ද සිල්වා (තත් 11.89), හිමාෂ ඒෂාන් (තත් 10.45) මීටර් 100 ඉසව්වන්ගේත් සහ කාලිංග කුමාරගේ (තත් 46.12), නදීෂා රාමනායක (තත් 53.32) මීටර් 400 ඉසව්වන්ගේත් ජාතික කිරුළ රැක ගැනීමට සමත් වූ අතර නිමාලි ලියනආරච්චි (මිනිත්තු 2:06.69) නැවත වරක් මීටර් 800 කිරුළ දිනා ගන්නට සමත් වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

මෙරට ප්‍රබලතම ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 කාන්තා තරගය අතරතුර දී පාදයේ ආබාධයකට ලක්වීම ද බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන් කළ කරුණක් වුනා.

මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් නියෝජනය කළ නදීකා ලක්මාලි (මීටර් 48.55) සහ සුමේධ රණසිංහ (මීටර් 74.51) හට ද සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වීම නිසා හෙල්ල විසි කිරීම කාන්තා ප්‍රථම ස්ථානය ඩී. ලේකම්ගේට (මීටර් 52.88) සහ පිරිමි ප්‍රථම ස්ථානය එල්. දයාරත්න විසින් (මීටර් 75.91) දිනා ගනු ලැබුවා.

පිරිමි දුර පැනීම් ඉසව්වේ ජයග්‍රහණය ප්‍රසාද් විමලසිරි විසින් දිනා ගත්තේ මීටර් 7.80ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින්.

තරගාවලිය පැවැත්වූ දිනයේ දී වරින් වර ඇදහැළුණු අධික වර්ෂාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි බාධාවක් එල්ල කළ අතර තරගාවලියේ ප්‍රමිතිය පිළිබඳව ද ගැටලුවක් බොහෝ දෙනාට මතුව තිබුණා.

නමුත් රටේ පවතින දැඩි වසංගත තත්වය යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ගත් උත්සහය අගය කළ යුතුයි.

තරගාවලිය සැලසුම් කිරීමෙන් අනතුරුව මෙම වසංගත තත්වයෙන් වරින් වර එයට බලපෑම් එල්ල වූ නිසාවෙන් තරගාවලියේ සැලසුම් කිහිප වතාවක්ම වෙනස් කිරීමට ද ඔවුන්ට සිදු වූ අතර අවසන් මොහෝතේ දී සති අන්තයේ සංචරණ සීමා පැනවීමට තීරණය කළ නිසාවෙන් තරගාවලිය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් ද මතු වුනා.

එහෙත් මෙම තරගාවලිය පැවැත්වීමේ වටිනාකම තේරුම් ගත් මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පළමු අදියර එක් දිනකට පමණක් සීමා කිරීමට තීරණය කළේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සිහිනය සපුරා ගැනීමට එය ඉතාමත් වැදගත් නිසයි.

නමුත් කාලගුණයෙන් ද එල්ල වූ තර්ජන නිසාවෙන් තරගාවලිය බලාපොරොත්තු වූ ලෙස අවසන් කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

එහෙත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවමත් අවස්ථාවක් ඇති නිසාවෙන් ඔවුන්ට ජුනි 22 වැනිදාට පෙර හෝ අවම වශයෙන් තවත් තේරීම් තරගාවලි ද්විත්වයක් හෝ පැවැත්වීම ඉතා වැදගත් වේ.

එසේත් නොමැති නම් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ට ලබා දීමට කටයුතු කළ යුතු නමුත් වත්මන් කොරෝනා තත්වය මත එම අවස්ථා ලබා ගැනීම ද පහසු නොවේ.

එම නිසාවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහිනය බොඳ වීමට ඉඩනොදී ඔවුන්ට එම ඉලක්කය සපුරා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීම මලල ක්‍රීඩා සංගමයේ වගකීමක් ද වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<