අමාෂා, හිමාෂ කිරුළ රැකගනී; නිමාලි නැවතත් ජාතික ශූරිය වෙයි

99 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

234

ජාතික මලල ක්‍රීඩා පිටියේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන “99 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ” පළමු අදියරේ ඉසව් අද (21) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ටෝකියෝ ඔලිම්පික් සඳහා මෙම වසරේ පැවැත්වෙන අවසන් දේශීය තේරීම් තරගාවලිය වූ මෙම තරගාවලිය, වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය නිසාවෙන් අදියර හතරකට වෙන් කරමින් එක් අදියරකට සීමිත ඉසව් කිහිපයක් පමණක් අන්තර්ගත කරමින් පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

ඒ අනුව අද පැවති පළමු අදියර සඳහා, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට වඩාත් ඉහළ සම්භාවිතාවක් ඇති ඉසව් එක්කර තිබූ නමුත් උදෑසන සිට වරින් වර ඇද හැලුණු වර්ෂාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතර බාධාවක් වුනා.

දිනයේ ඉසව් ආරම්භ කරමින් පැවති කාන්තා මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:53.96 කාලයකින් ජයග්‍රහණය කිරීමට ජාතික ශූරී නිලානි රත්නායක සමත් වුනේ සිය ඔලිම්පික් බලාපොරොත්තු ද ඉහළ නංවා ගනිමින්.

මිනිත්තු 10:58.11ක කාලයකින් ඉසව්ව අවසන් කළ එන්. කුමාරි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඉසව්වේ තෙවැනි ස්ථානය එන්. එල්. ආරියදාසට හිමි වුනා (මිනිත්තු 11:03.31) 

තරගාවලියේ ඉතා උණුසුම් ඉසව්වක් වූ කාන්තා මීටර් 800 ඉසව්ව මීළඟට ආරම්භ වූ නමුත් ඉසව්වේ හිටපු ශූරියක වූ ගයන්තිකා අබේරත්න අද ඉසව්වට සහභාගි වී සිටියේ නැහැ. 

මෙරට ප්‍රබලතම ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ මීටර් 800 ඉසව්වේ කාන්තා ශූරිය වන ඩිල්ෂි කුමාරසිංහ ඉසව්ව ආරම්භයේ සිටම වේගවත් ධාවනයක් සමඟින් පෙරමුණ ගැනීමට සමත් වූවත් තරගයෙන් අඩක් නිමා වීමටත් පෙර ආබාධයක් නිසාවෙන් ඇයට තරගයෙන් ඉවත් වීමට සිදු වුනා.

ඩිල්ෂිගේ ඉවත් වීමෙන් පසු පෙරමුණට පැමිණි නිමාලි ලියනආරච්චි මිනිත්තු 2:06.69 කාලයක් සමඟින් ඉසව්ව ජයග්‍රහණය කරන්නට සමත් වුනා. මිනිත්තු 2:07.21කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූ අතර එම දස්කම නිසාවෙන් ලෝක යොවුන් ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට ද ඇයට වරම් හිමි වුනා.

මිනිත්තු 2:08.30කින් ඉසව්ව අවසන් කළ එම්. ඒ. කුමාරි තෙවැනි ස්ථානය දිනා ගත් අතර ඇය ද ලෝක යොවුන් ශූරතාවය සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.

කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්ව මීටර් 52.88ක දක්ෂතාවයක් සමඟ ජයග්‍රහණය කිරීමට ඩී. ලේකම්ගේ සමත් වූ අතර හිටපු ජාතික ශූරී නදීකා ලක්මාලි දෙවැනි ස්ථානයත් (මීටර් 48.55), එච්. මධුවන්ති තෙවැනි ස්ථානයත් (මීටර් 48.16) දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 75.91ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් සුමේධ රණසිංහ අභිබවා පළමු ස්ථානය දිනා ගැනීමට එල්. දයාරත්න සමත් වුනා. මීටර් 74.51ක දක්ෂතාවයක් පෙන්නුම් කළ සුමේධ රණසිංහ හට දෙවැනි ස්ථානයත්, මීටර් 73.25ක දක්ෂතාවයක් පෙන්නුම් කළ එස්. රණසිංහ තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

තවත් ක්‍රීඩා පුවත්:

මීටර් 7.80ක දක්ෂතාවයක් සමඟින් පිරිමි දුර පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට ප්‍රසාද් විමලසිරි සමත් වූ අතර මීටර් 7.69ක දක්ෂතාවයක් දැක්වූ බී. ආර්. හේරත් දෙවන තැනත්, මීටර් 7.58ක දක්ෂතාවයක් දැක්වූ කේ. කරුණාසේකර තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.

ඩිල්ෂිගේ ඉවත් වීම නිසාවෙන් තත්පර 53.32ක කාලයකින් කාන්තා මීටර් 400 ඉසව්ව අවසන් කරමින් පහසු ජයක් ලබා ගැනීමට නදීෂා රාමනායක සමත් වුනා. තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ලක්ෂිමා මෙන්ඩිස් (තත්පර 55.68) සහ කේ. තත්සරණි (තත්පර 55.94) හට හිමි වුනා.

පෙර ජාතික ශූරතාවයේ දී ලබා ගත් ආධිපත්‍ය එලෙසෙම රඳවා ගනිමින් තියුණු සටනකින් පසු අරුණ දර්ශන පරාජය කරමින් පිරිමි මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට කාලිංග කුමාරගේ සමත් වුනා (තත්පර 46.12). එම ඉසව්වේ දෙවැනි ස්ථානය අරුණ දර්ශනට (තත්පර 46.45) හිමි වූ අතර එන්. රාජකරුණා (තත්පර 47.21) තෙවැනි තැන දිනා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ වේගවත්ම ඉසව් වූ කාන්තා හා පිරිමි මීටර් 100 අවසන් තරග අද පැවති අතර එහි කාන්තා ඉසව්ව තත්පර 11.89ක කාලයකින් අවසන් කරමින් වේගවත්ම ක්‍රීඩිකාවට හිමි කිරුළ රැක ගැනීමට අමාෂා ද සිල්වා සමත් වුනා.

තත්පර 12.20ක කාලයකින් ඉසව්ව අවසන් කළ ශෙලින්ඩා ජැන්සන් දෙවැනි ස්ථානයත්, තත්පර 12.21ක් වාර්තා කළ මේධානි ජයමාන්න තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි මීටර් 100 ඉසව්ව සුපුරුදු දේශීය ආධිපත්‍ය රඳවා ගනිමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට හිමාෂ ඒෂාන් සමත් වුනේ තත්පර 10.45ක කාලයකින් ඉසව්ව අවසන් කරමින්. මෙහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් සහන් රාජපක්ෂ (තත්පර 10.69) සහ එම්. යෝධසිංහ (තත්පර 10.76) හට හිමි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<