මලල ක්‍රීඩා ප්‍රධානියාගෙන් 2021 ගැන සුබවාදී බලාපොරොත්තුවක්

101
World Athletics boss

ලොව පුරා වැසියන්ට මහත් හිසරදයක් වෙමින් ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසර (2020) තුළ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරගාවලි රැසක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වූ අතර එම තරගාවලි අතරට ගිම්හාන ඔලිම්පික් උළෙල ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් ද ඇතුළත් විය.

එලෙස ක්‍රීඩාවේ අනාගතය අවිනිශ්චිතතාවකට පැමිණ ඇති මොහොතක ලබන වසරේ (2021) මලල ක්‍රීඩා පිටිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී Sebastian Coe ප්‍රකාශ කර සිටියේ මීළඟ වසර තුළ දී ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇතුළු මලල ක්‍රීඩා තරගාවලි රැසක් පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාසයෙන් පසුවන බවයි.

“දැන් ලෝකයේ පැවැත්ම අනුව සුබවාදී ලෙස සිතන්නට අපහසු වූවත් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සමහර හේතූන් නිසාවෙන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

අපි බලාපොරොත්තු වෙනවා ඔලිම්පික් උළෙල සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි කරගන්න පුළුවන් වෙයි කියලා, ඒත් අපිට හරියටම කියන්න බෑ සම්පූර්ණ ක්‍රීඩාංගණයෙන් කොපමණ සංඛ්‍යාවකට ඉඩ ලැබෙයි ද කියලා. ඒ වගේම තරගාවලියට සහභාගි වෙන ක්‍රීඩකයන් ක්‍රීඩක ගම්මානය තුළ මුහුණු ආවරණ පලඳිමින් සමාජ දුරස්ථභාවය තබා ගැනීම ඉතා වැදගත් වෙනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

මීට අමතරව මෙම වසරේ පැවැත්වීමට තිබී, ලබන වසර තෙක් කල් දැමීමෙන් අනතුරුව නැවත වතාවක් 2023 වසර තෙක් කල් දැමීමට සිදු වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල පිළිබඳව අදහස් දැක්වූ Coe, 

“යම් තරගාවලි කල්දැමීමට කටයුතු කිරීමෙන් ඔබ අනිවාර්යයෙන් කනගාටුවට පත්වෙන්න පුළුවන්. ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන රටක ක්‍රීඩා තරගාවලියක් කල් දැමීමට කටයුතු කළ විට එයින් විශාල කලකිරීමක් ඇතිවෙනවා. ඒත් මෙම කාලසීමාවේ ඇති අභියෝග පිළිබඳව ඔබ තේරුම් ගත යුතුයි. 

එය 2023 වසරේ දී හෝ පැවැත්වීමට හැකි බව ප්‍රකාශ කිරීමට හැකි වීම පිළිබඳව මම සතුටු වෙනවා. එය නැවත කල් දැමීමට සිදු වීම ලැජ්ජාවක්, නමුත් මම සිතනවා අපි දැන් සිටින ලෝකයේ තත්වය පිළිබඳව සියල්ලන් තේරුම් ගනියි කියලා. චීනය කියන්නේ අපේ තරගාවලිවලට නිරන්තරයෙන්ම සහය දැක්වූ රටක්. ඔවුන් එය තවදුරටත් සිදු කිරීමට ඉදිරිපත් වී සිටීම පිළිබඳව මම ඉතා සතුටට පත්වනවා”

ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් මලල ක්‍රීඩාවට විශාල සේවාවක් ඉටු කළ Sebastian Coe වසර ගණනක උත්සහයෙන් පසු මෙම වසරේ දී අන්තර්ජාතික ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සමත් විය.

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු විශාලතම තරගාවලිය වන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ලබන වසරෙ ජූලි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<