ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය කල් යයි

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය 2023

145

2023 වසරේ චීනයේ දී පැවැත්වීමට තිබූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය නැවතත් වරින් වර හිස ඔසවන කොරෝනා වසංගතය නිසා වසර දෙකකට කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

චීනයේ Nanjing නුවර ලබන (2023) වසරේ මාර්තු 17 සිට 19 දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත් මෙම තීරණයත් සමඟ තරගාවලිය 2025 දක්වා කල් යන අතර එම වසරේ තරගාවලිය පැවැත්වෙන දින තවමත් තීරණය කර නැහැ.

මෙම තරගාවලියේ මුල් සැලසුම් අනුව තරගාවලිය 2020 වසරේ පැවැත්වීමට තිබූ අතර පසුව එය කොරෝනා වසංගතය නිසා පළමුවෙන් 2021 දක්වාත් සහ පසුව 2023 දක්වා කල් දැමීමට සිදු වුනා.

ඒ අනුව මෙම තරගාවලිය මෙලෙස කල් දැමීමට ලක් වුනේ තෙවැනි වරට වන අතර එය කල් දැමීම පිළිබඳව තීරණය Nanjing සංවිධායක කමිටුව සහ චීන මලල ක්‍රීඩා සංගමය අතර සිදු වූ සාකච්ඡාවලින් අනතුරුව ගෙන තිබේ.

2023 තරගාවලිය කල් දැමීමෙන් පසුව මීළඟ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය 2024 වසරේ Glasgow හිදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 2026 තරගාවලිය සඳහා ද සත්කාරකයින් තෝරා ගැනීමට අදාළ ලංසු තැබීම ආරම්භ කර ඇත.

“අපි ඇත්තෙන්ම කනගාටුවට පත් වෙනවා අපගේ පාලනයේ නැති මේ තත්වය නිසා තරගාවලිය නැවත වරක් කල් දැමීමට සිදු වීම ගැන. නමුත් අප එසේ කලේ 2023 තරග වාරයට සූදානම් වන ක්‍රීඩකයින්ට සහ අදාළ නිලධාරීන්ට සහයෝගය ලබා දීම සඳහායි.

කනගාටුවට කරුණ නම් අපට මෙම තරගාවලිය හැකි ඉක්මනින් පවත්වන්න ලැබෙන්නේ නැහැ. ඒත් 2024 වසරේ දී අපි නැවතත් ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වෙනවා.

අපි Nanjing තරගාවලිය සඳහා 2025 වසර වෙන් කරනවා. මොකද ඔවුන් දැන් මෙම තරගාවලිය පැවැත්වීමට සූදානම් වෙලා ඉවරයි, ඒ නිසා අපි සියලුම පාර්ශවයන්ට පාඩුවක් නොවෙන්න ලබා ගන්න ඕන,” යැයි ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී Sebastian Coe ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් පසුව චීනය තුළ කිසිදු මලල ක්‍රීඩා තරගාවලියක් මේ දක්වා පැවැත්වීමට නොහැකි වූ අතර ආසියානු ක්‍රීඩා උළෙල ද අවස්ථා ගණනාවක දී කල් දැමීමට සිදු වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<