ජාතික මලල ක්‍රීඩා පිටියේ ඉදිරි සැලසුම් එළිදක්වයි

239

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ මෙම වසරේ අග භාගයේ සහ ඉදිරි වසර සඳහා වන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (06) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර තිබුණේ CR&FC පරිශ්‍රයේ දීයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී ව සිටියා.

එහි දී රැස්ව සිටි මාධ්‍ය පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ,

“ජාතික, කනිෂ්ඨ සහ යොවුන් මලල ක්‍රීඩා තරගාවලි ඉලක්ක කරගෙනයි ඉදිරි තරග සංවිධානය කරලා තියෙන්නේ. අපි ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩකයින් සූදානම් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා.

විශේෂයෙන්ම ආසියානු කනිෂ්ඨ සහ යොවුන් තරගාවලි සඳහා අපි ක්‍රීඩකයින් සංචිතගත කරන්න තේරීම් තරග මෙම (සැප්තැම්බර්) මාසයේ දී පවත්වනවා. ඒ වගේම අපි ආසියානු කනිෂ්ඨ තරගාවලියේ දී පදක්කම් හතක් සහ යොවුන් තරගාවලියේ දී පදක්කම් පහක් අපේක්ෂා කරනවා.

ඒ වගේම අපි අපගේ ජාතික සංචිතයට ඇතුළත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පරිදි ජාත්‍යන්තර තරගාවලි ලබා දීලා ඔවුන්ට ලෝක ශූරතාවය සඳහා ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබා ගන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ.”

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කළ එම කැලැන්ඩරයට අනුව මෙම මාසයේ  පැවැත්වීමට නියමිත ජෝන් ටාබට් තරගාවලිය යොවුන් සහ කනිෂ්ඨ තේරීම් තරග ලෙස සැලකෙන අතර එය අවසන් වූ පසු සැප්තැම්බර් 17 සිට 19 දක්වා ජාතික තේරීම් තරග පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් මාසයේ දී ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැත්වීමට නියමිතව ඇති අතර එයත් සමඟ මෙම වසරට අදාළ මලල ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු අවසන් වනු ඇත.

2023 වසරේ මලල ක්‍රීඩා පිටියේ වැඩකටයුතු ආරම්භ කරමින් පෙබරවාරි මාසයේ දී දස්කම් මැනීමේ තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර මාර්තු මාසයේ දී කනිෂ්ඨ සහ යොවුන් තේරීම් තරග පැවැත්වීමට නියමිතයි.

ජාතික මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මාර්තු 20 සිට 22 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගාවලිය ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ සහය දිවීමේ කණ්ඩායම් තේරීම් තරග සඳහා කණ්ඩායම් තේරීම් තරග ලෙස පැවැත්වෙනු ඇත.

එමෙන්ම එම වසරේ දී නැවතත් සහය දිවීමේ සැණකෙළිය සහ ශ්‍රී ලංකා Grand Prix තරගාවලියක් පැවැත්වීමට ද උත්සහ කරන බව මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

2023 වසරේ දී ජාත්‍යන්තර පිටියේ ද ශ්‍රී ලංකාවට සුවිශේෂී තරගාවලි කිහිපයක් පැවැත්වීමට ඇති අතර ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය එයින් ප්‍රධාන තැනක් ගනී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<