මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්!

T20 World Cup 2022, Legends Cricket League

15395

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු විශිෂ්ට දඟපන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පළ කරනවා. 

බොහෝ විට ඕස්ට්‍රේලියානු තණතිලි වේගපන්දු යවන්නන්ට සහාය පල කරත්, මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එන ඉන්දීය දඟපන්දු යවන්නන් තරග වෙනස් කළ හැකි මට්ටමේ දස්කම් දක්වනු ඇති බව මුරලිදරන් විසින් පවසා සිටිනවා. 

“මම ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුව එතරම්ම දඟ කැවුණේ නැතත්, මෙවැනි තණතිලිවල පන්දු යැවීමට උචිත ආකාරයේ පන්දු යැවීමේ සංකලනයක් ඔවුන් සතු වන නිසා මෙම තරගාවලියේ විශාල වෙනසක් ඔවුන් විසින් සිදු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” 

ඔහු විසින් මේ බව ප්‍රකාශ කර සිටියේ ANI පුවත් සේවය සමගින් සිදු කළ සංවාදයක දීයි. 

එහි දී මෙවර ලෝක ශූරයන් ලෙස කවුරුන් කිරුළු දරාවි ද යන පැනයට පිළිතුරු දෙමින් මුරලි පවසා සිටියේ, තමන්ගේ මව් රටේ ක්‍රීඩා කිරීමේ වාසිය ලැබීම නිසාවෙන් පසුගිය වර ලෝක ශූරයන් බවට පත්වූ, ඕස්ට්‍රේලියාව විසින් මෙවරත් ලෝක කුසලානය ජයග්‍රණය කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි. 

“මම හිතන්නේ ඕනම කණ්ඩායමකට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙනවා, ඔවුන් හැමෝම කණ්ඩායමක් ලෙස තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙනුයි තරග බිමට පිවිසෙන්නේ. කවුරු මෙම තරගාවලිය ජයග්‍රහණය කළත් ඔවුන්ට ඉතාම අමාරු ගමනක් තමයි යන්න වෙන්නේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඔවුන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීම නිසා ඔවුන්ට මෙහි දී තරමක වැඩි වාසියක් හිමි වේවි.” 

මේ දිනවල පැවැත්වෙන Legends cricket league තරගාවලිය පිළිබඳ සහ ඔවුන් ක්‍රීඩකයින් ලෙස ඒ වෙනුවෙන් සූදානම් වන ආකාරය පිළිබඳව ද මුරලිදරන් විසින් මෙහි දී සිය අදහස් දක්වා සිටියා. 

“ලොකු දෙයක් නැහැ, වෘත්තීමය වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී  අපි ඉතාම මහන්සියෙන් පුහුණුවීම් කටයුතු වල නියැලුණා. දැන් අපි නිතරම පුහුණු වීම් කරන්නෙ නැහැ. අපි තරගයට එනවා, අපේ හැකියාවන් මොනවද කියලා පෙන්නනවා එච්චරයි. 

අපි හිතනවා අපිට ගොඩ හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා, ඒත් අපේ ඇඟවල් ඒකට හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි ලබා දෙන්නේ. මොකද අපි ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙනයි ඉන්නේ, අපි අපේ උපරිම උත්සාහය යෙදෙවුවත් පිටියේ දී ඉස්සර වගේම සෙල්ලම් කරන එක ලේසි දෙයක් නෙවෙයි.” 

පසුගිය දා පාකිස්තානයට එරෙහිව ලකුණු 23ක ජයක් ලබමින් හයවැනි වරටත් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට (හත් වරක් ආසියානු කුසලානය ජය ගෙන ඇත) පමණක් දෙවැනි වෙමින් වත්මන් ආසියානු ශූරයින් බවට පත් වීම පිළිබඳව ද මුරලිදරන් මෙහි දී සිය සතුට ප්‍රකාශ කළා. 

“මට ඔවුන් ගැන ගොඩක් සතුටුයි. ඔවුන් තරුණ කණ්ඩායමක් විදිහට පහුගිය අවුරුදු දෙකේ ඉතාම හොඳින් ක්‍රීඩා කළා. මේ තරගාවලියේ දීත් ඔවුන් ඉතාම හොඳින් තරග වැදුණා. මම ඔවුන්ටත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සුභාශිංෂණ පිරිනමනවා!” 

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමටත් සුබ පැතුම් එකතු කිරීමට මුත්තයියා මුරලිදරන් අමතක කළේ නැහැ. 

නුදුරේ දී ම ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ නවතම තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Times of India ඇසුරෙනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<