ළමා මෙහෙකරුවෙකු ලෙස බ්‍රිතාන්‍යයට ආ “ශ්‍රීමත්” මෝ ෆාරා

486
School Notices

Sir Mohamed “Mo” Farah, නැතහොත් ශ්‍රීමත් මොහමඩ් “මෝ” ෆාරා යන නාමය ලොව මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට අලුත් නමක් නොවුනත්, ඔහු බ්‍රිතාන්‍යයට ඇතුල් වූ ආකාරය, අලුතින් ඇසෙන අනුවේදනීය පැරණි කතාවකි.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 10,000 සහ 5,000 රන් පදක්කම් ද්විත්වයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේ එම ඉසව් ද්විත්වයේම රන් පදක්කම් ද්විත්වයත්, ඊට අමතරව ලෝක ශූරතා රන් පදක්කම් 6කුත් දිනා ගත් දුර දිවීමේ ශූරයෙකු වන්නට පෙර මෝ ෆාරා යනු නීති විරෝධී ක්‍රමයකින් බ්‍රිතාන්‍යයට ඇතුළත් කෙරෙනු ලැබූ දරුවෙකි.

වසර ගණනාවක් පුරා සඟවා ගෙන සිටි කතාවක් ඔහු විසින් දිග හැරියේ BBC මාධ්‍යය ඉදිරියේ දීයි.

අප්‍රිකානු රාජ්‍යයක් වන ජිබුටි රාජ්‍යය හරහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කෙරෙනු ලැබූ ඔහුගේ සැබෑ නම වී ඇත්තේ හුසේන් අබ්දී කහීන් ය. වයස අවුරුදු 9ක් වූ ෆාරාව නීති විරෝධීව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කරවා ඇත්තේ ඔහු එතෙක් කිසිදා දැක නොතිබූ කාන්තාවක විසිනි. ඔහු බ්‍රිතාන්‍යයට පැමිණ ළමා මෙහෙකරුවෙකු ලෙස තවත් පවුලක දරුවන් බලා කියා ගත් බව ඔහු කියයි.

අවුරුදු ගානක් මම ඒක හිර කරගෙන හිටියා”, ඔහු කියයි.

මෝ ෆාරා ළමා කාලයේදී

මීට පෙර ඔහු විසින් සඳහන් කොට තිබුණේ ඔහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූයේ සෝමාලියානු සරණාගතයෙකු ලෙස ඔහුගේ දෙමාපියන් සමඟ බවයි.

එහෙත් දැන් ඔහු විසින් පවසන අන්දමට සත්‍ය කතාව අනෙකකි. ඔහුගේ මව සහ සහෝදරයන් මේ වන විටත් අප්‍රිකාවේ ජීවත්ව සිටිනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

ෆාරාට වයස අවුරුදු 4 දී ඔහුගේ පියා ඝාතනය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයකිනි. ඒ සෝමාලියාවේ සිවිල් අරගල අතරතුරයි. 1991 දී සෝමාලිලෑන්ඩ් නම් නිදහස් රාජ්‍යයක් බිහි වූ බව පැවසුනත්, ගෝලීයව සහ ජාත්‍යන්තරව එය පිළිගනු නොලැබේ.

වයස අවුරුදු 8ක් හෝ 9ක් තරම් කාලයේ දී ඔහුව ඔහුගේ පවුලේ සාමාජිකයින් සිටින්නේ යැයි රවටා ජිබුටි රාජ්‍යය වෙත ගෙන ගොස් ඇති අතර ඉන්පසුව තමන් එතෙක් කිසිදා දැක නොතිබූ කාන්තාවක විසින් ඔහුව බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් ඇත. ඔහුට පවසා ඇත්තේ ඔහුව යුරෝපීය රටක සිටින ඔහුගේ පවුල වෙත යවනු ඇති බවයි. ෆාරා පවසන අන්දමට ඒ වයසේ දී ඔහුට එය උද්යෝගිමත් බලාපොරොත්තුවක් වී තිබේ.

මම කවදාවත් ප්ලේන් එකක ගිහින් තිබුණේ නෑ”, ඔහු කියයි.

ඔහුගේ නම මොහමඩ් බව ඔහුට පවසා ඇත්තේ ද අදාළ කාන්තාව විසිනි. ව්‍යාජ ගමන් ලිපි ලේඛන මත ඔහුගේ ඡායාරූපයට පහළින් තිබී ඇති නම “මොහමඩ් ෆාරා” ය.

බ්‍රිතාන්‍යයට ඇතුල් වීමෙන් පසුව බටහිර ලන්ඩනයේ හවුන්ස්ලෝව් නම් නගරයේ තට්ටු නිවාසයකට ඔහුව රැගෙන ගොස් ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ගම සඳහන් වූයේ යැයි කියන ලේඛනය ඔහුගේ දෑස් ඉදිරිපිට දී ම ඉරා දැමූ ඇය විසින් එය කසල බඳුනට විසිකොට තිබේ. ඔහු කරදරයකට පත්වූ බව ඔහුට පැහැදිලි වී ඇත්තේ ඒ මොහොතේ දීයි.

ඔහු පවසන අන්දමට ඔහුගේ කුසගින්න නිවා ගැනීමට නම් ඔහුට නිවසක මෙහෙ කිරීමටත් දරුවන් බලා කියා ගැනීමටත් සිදු වී තිබුණි. එමෙන්ම ඔහුව බ්‍රිතාන්‍යයට රැගෙන ආ කාන්තාව ඔහුට පවසා ඇත්තේ “නැවත ඔහුගේ පවුල වෙත යන්නට අවශ්‍ය නම්, කිසිවක් නොකියන ලෙස”යි. එය තර්ජනාත්මක අවවාදයකි.

බොහෝ වෙලාවල්වලදී  මම වැසිකිළියේ දොර වහගෙන ඇඬුවා”, ෆාරා කියයි.

පළමු වසර කිහිපයේ දී ඔහුගේ “හිමිකාර පවුලෙන්” ඔහුට පාසල් යාමට අවස්ථාවක් ලබා දී නැත. එහෙත් වයස අවුරුදු 12 දී පමණ ෆෙල්ත්හම් ප්‍රජා පාසලට ඔහු ඇතුළත් වී ඇත. පාසලට කියා ඇත්තේ ද ඔහු සෝමාලියාවෙන් ආ සරණාගතයෙකු බවයි.

ඔහුගේ පැරණි ගුරුවරියක වන සාරා රෙනී පවසන්නේ ඔහු “සැලකිල්ලක් නොලැබූ දරුවෙකු” ලෙස පාසලට පැමිණි බවයි. ඔහු කතා කළේ ඉංග්‍රීසි වචන කිහිපයක් වන අතර “හැඟීම් සහ සංස්කෘතික වශයෙන් නුපුරුදු වටපිටාවක්” තිබූ දරුවෙකු ලෙස ඇය ඔහුව හඳුනා ගෙන තිබේ.

දෙමාපිය රැස්වීම් කිසිවකට ඔහුගේ දෙමාපියන් යැයි කියාගන්නා කිසිවෙකු නොපැමිණි බව ද ඇය කියයි.

එහෙත් ඔහු ක්‍රීඩා පිටියට පා තබන විට ඔහුගේ ශාරීරික අධ්‍යාපන ගුරු ඇලන් වොට්කින්සන් ඔහුගෙන් විශේෂත්වයක් දැක ඇත.

එයාට තේරුණු එකම භාෂාව ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩාව තමයි”, ඔහු කියයි.

මෝ ෆාරා පවසන අන්දමට ඔහු සිටි තත්වයෙන් ගොඩ ඒමට ඔහුට තිබූ එකම මඟ ක්‍රීඩාවයි. ඔහු නිවස්නයෙන් පිටතට විත් දුව පැන ක්‍රියාකාරකම් වල නිරත වී තිබේ. ඔහු ඔහුගේ සත්‍ය කතාව පවසා ඇත්තේ ඔහුට වඩාත් සමීප වූ ශාරීරික අධ්‍යාපන ගුරු වොට්කින්සන් හටයි.

සමාජ සේවා ආයතනය ඔහු හා සම්බන්ධ කළ වොට්කින්සන් ඔහුට නව සෝමාලියානු පවුලක් හා ජිවත් වීමට අවස්ථාව සලසා දී ඇත.

මට මගේ පවුල නැති පාළුව එතකොටත් තිබුණා. ඒත් ඒ මොහොතේ ඉඳන් හැමදේම හොඳ අතට පත්වුනා”, ෆාරා එසේ කියයි.

මට තේරුණා ලොකු බරක් මගේ කරින් අයින් කළා වගේ. එතන ඉඳන් තමයි ඇත්ත මෝ එළියට ආවේ.”

මලල ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ 14 හැවිරිදි මෝ ෆාරා හට ලැට්වියාවේ පැවති ලෝක පාසල් තරගාවලියක් සඳහා තරග වැදීමට අවස්ථාව හිමි වුනත්, කිසිදු ආගමන විගමන සහතිකයක් ඔහු සතුව තිබී නැත.

ඔහුගේ ගුරු වොට්කින්සන් ඔහුට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමට උදව් උපකාර ලබා දී ඇත. 2000 වසරේ දී මොහොමඩ් ෆාරා යන නමින් ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවට පත්විය. එතැන් සිට කතා පුවත ඓතිහාසිකය. ඔහු දැන් ලෝක මලල ක්‍රීඩාවේ රන් පදක්කම් ලාභියෙකි.

athleticsweekly.com
මෝ ෆාරා විසින් දිනාගත් 2016 ඔලිම්පික් රන් පදක්කම් දෙක

මෝ ෆාරා පවසන්නේ ළමා මෙහෙකාරකම් සහ දරුවන් විකිණීම සම්බන්ධව ලෝකයා තුළ ඇති දුර්මත ඉවතලීම සඳහා සිය අතීත කතාව ප්‍රසිද්ධ කරන බවයි.

මම දැනගෙන හිටියෙ නෑ මට වෙච්ච දේම සිදු වෙන තවත් බොහෝ දෙනෙක් ඉන්න බව. ඒකෙන් තමයි පෙනුණේ මම කොච්චර වාසනාවන්ත ද කියලා”, ෆාරා කියයි.

ඇත්ත වශයෙන්ම ඔහු වාසනාවන්තයෙකු නොවන්නේ ද? ළමා මෙහෙකාර සේවය සඳහා හෝ නොයෙකුත් නොමනාකම් සඳහා දරුවන් ජාවාරමේ යොදවන්නන් නිසා අසරණ වූ හෝ ලොවට අහිමි වූ ජීවිත කොතෙක් ඇත්ද?

මාව ඇත්තටම බේරගත්තේ, මම වෙනස් කෙනෙකු බවට පත්කළේ, මට දුවන්න පුළුවන් වීමයි”, මිනිසෙකුගේ දක්ෂතා විසින් ඔහුව බේරාගන්නා අවස්ථා ප්‍රමාණය ගැන අප නොසැලකිලිමත් ය. එහෙත් සැලකිලිමත් විය යුතුය. දක්ෂතා වලින් ඉදිරියට යා යුතුය.

මේ වන විට ශ්‍රීමත් පදවියක් හොබවන “ශ්‍රීමත්” මෝ ෆාරා, අපට සිහිකරවන්නේ එයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<