ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

7655
Shubman Gill of India celebrate his century during the first One Day International between India and New Zealand held at the Rajiv Gandhi International Stadium, Hyderabad on the 18th January 2023 Photo by: Arjun Singh / SPORTZPICS for BCCI

මීට දින කිහිපයකට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shubman Gill ඊයේ (01) නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කරන්නට සමත් වුනා.

ඔහු සිය ශතකය පන්දු 54ක් තුළ වාර්තා කරමින් ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වූ අතර එම ශතකය සමඟ Rohit Sharma, Virat Kohli, Suresh Raina සහ KL Rahulට පසු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් ලබා ගත් පස්වැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් වුනා.

මේ වන විට වයස අවුරුදු 23යි දින 146ක් වන Gill විස්සයි විස්ස ශතකයක් රැස් කළ ළාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට ද ඉතිහාස ගත වූ අතර ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කියූ Suresh Raina සිය ශතකය ලබා ගන්න විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 156ක්.

පන්දු 63ක් තුළ Gill නොදැවී ලබා ගත් ලකුණු 124 නිසා ඉන්දියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

එමෙන්ම එම ඉනිම සමඟ ඉන්දීය පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට Gillට හැකි වූ අතර මීට පෙර සුපිරි ක්‍රීඩක Virat Kohli ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 61ක් තුළ ලබා ගත් ලකුණු 122 ඉන්දීය ක්‍රීඩකයෙක් විස්සයි විස්ස තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව තිබුණා.

මෙම තරගයේත් Ishan Kishan අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමඟ Rahul Tripathi සමඟ එක්ව ඉන්දීය ඉනිම ගොඩ නැගූ Gill තරගයේ මැද භාගයේ තරමක් ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනු දක්නට ලැබුණා.

නමුත් Suryakumar Yadavගේ දැවී යාමත් සමඟ ක්‍රියාත්මක වූ ඔහු ඉතා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ඉතා පහසුවෙන් ලකුණු 200 සීමාවට රැගෙන ගියා.

Gillගේ ඉනිමට අගනා සහයක් ලබා දුන් Rahul Tripathi පන්දු 22ක් තුළ ලකුණු 44ක් සහ Suryakumar පන්දු 12ක් තුළ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ සමඟ සිය ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දුවෙන් ද ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩකයින් නවසීලන්ත ඉනිම ලකුණු 66කට සීමා කර තරගය ලකුණු 168කින් ජයග්‍රහණය කළා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<