පරාජිත මඟ වලකාලීමේ මං සොයන නෙදර්ලන්ත තරගයට පෙර

ICC World Cup 2023

911

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගය, නෙදර්ලන්තය සමඟින් හෙට (21) Lucknow හි Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය වන අතර ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම දිවා තරගයයි.

නිමා වූ තරග අතරින් සැසදී ඇති ප්‍රසාද ලකුණු පුවරුවේ, මේ වන විට ශ්‍රී ලංකාව අන්තිම ස්ථානයට පත් ව ඇති අතර නෙදර්ලන්තය 8 වැනි අසුනේ අසන්ගෙන සිටිනවා.

මේ දක්වා දෙරට ක්‍රීඩකයෝ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 5කට සහභාගී වී ඇති අතර ඒ සියලු තරගවල ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා. ඔවුනොවුන් අවසන් වරට හමුවෙන්නේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ දීයි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 128ක ජයග්‍රහණයක් හිමි කර ගන්නවා.

  • ශ්‍රී ලංකා සංචිතය: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න.
  • නෙදර්ලන්ත සංචිතය: Scott Edwards (නායක), Max O’Dowd, Bas de Leede, Vikram Singh, Teja Nidamanuru, Paul van Meekeren, Colin Ackermann, Roelof van der Merwe, Logan van Beek, Aryan Dutt, Ryan Klein, Wesley Barresi, Saqib Zulfiqar, Shariz Ahmad, Sybrand Engelbrecht.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සූදානම

ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වෙන්නේ තරගාවලියේ මෙතෙක් සහභාගී වූ සියලු තරග පරාජය වූ එක ම කණ්ඩායම ලෙසයි.

  • 4 වැනි තරගය: ඔක්තෝබර් 07, 2023 Delhi (දිවා/රාත්‍රී), ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව – දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයක්.
  • 8 වැනි තරගය: ඔක්තෝබර් 10, 2023 Hyderabad (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය – පාකිස්තානයට කඩුලු 6ක ජයක්. (පන්දු 10ක් ඉතිරිව තිබිය දී)
  • 14 වැනි තරගය: ඔක්තෝබර් 16, 2023 Lucknow (දිවා/රාත්‍රී), ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව – ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්. (පන්දු 88ක් ඉතිරිව තිබිය දී)

මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් ම සුබදායි තත්ත්වයක් නොවේ. එසේ වූවත් ඔවුන්ට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට තවත් අවස්ථාවන් 6ක් ඉතිරි ව තිබෙනවා. ඒ අතරින් ජයග්‍රහණයේ සේයා දැක්වෙන තරගයක් ලෙසින් මෙම තරගය හැඳින්විය හැකි.

එහෙත් මෙම තරගය ද සිතූ ලෙසින් ම පහසු වනු ඇතැයි සිතිය නොහැකි. ඒ ඔවුන් මේ වෙද්දී ප්‍රබල කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් මෙම තරගයට එක් වන බැවිනුයි.

මෙම තරගයට පිවිසීමේ දී නැවත නැවතත් පැවසීමට සිදු වෙන්නේ පෙර වැරදි සිදු නොකරමින් තරගයට එක් වීම වඩාත් සුදුසු බවයි. ආරම්භක තරග ද්විත්වයේ දී අපේ පිතිකරුවන්ගේ යම් ප්‍රගමණයක් දුටුව ද, එය තෙවැනි තරගයේ දී දැක ගැනීමට හැකි වූයේ නැහැ.

එම තත්ත්වය වඩාත් ප්‍රබලව දැනෙන්නේ පන්දු යවන්නන්ගෙන් මෙතෙක් කණ්ඩායමට නිසි සේවයක් ලබා නොදුන් තත්ත්වය මතයි. එය ම මෙම තරගයේ දී ද සිදු වන්නේ නම් ජයග්‍රහණයේ සියලු බලාපොරොත්තු අතහැර ගත යුතුයි. ඒ නෙදර්ලන්තය මෙම තරගයට පිවිසෙන්නේ තම පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ගනිමින් වීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයේ දී ද පිටියට පිවිසෙනු ඇතැයි සිතිය හැකි. එසේ වූවත් ඇතැම් විට කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවීමේ වැඩි ඉඩකඩක් පවතින බැව් ද පැවසෙනවා.

ඒ පෙර තරගයේ දී ලකුණු අතරට පිවිසි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා, තම පිතිකරණය අතරතුර සිදු වූ ආබාධිත තත්ත්වයෙන් තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බැව් ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග මගින් කියැවෙන්නේ බැවිනුයි.

ඔහුගේ තත්ත්වය අද දිනයේ දී යථා තත්ත්වයට පත් නොවුණේ නම් ඒ වෙනුවට දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායම හා එක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මේ අතර ආබාධිත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් අතිරේක සංචාරක ක්‍රීඩකයන් ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් සහ දුශ්මන්ත චමීර ඊයේ (19) කණ්ඩායම හා එක් වුනා. ඔවුන්ට තරගාවලිය හා එක් වීමේ අවස්ථාවක් උදා වෙන්නේ ආබාධිත ක්‍රීඩකයන් වෙනුවට ආදේශක ක්‍රීඩකයන් කණ්ඩායමට එක් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වෙන්නේ නම් පමණයි.

නෙදර්ලන්තයට එරෙහිව නම්  කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කුසල් පෙරේරා/ දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක.

නෙදර්ලන්ත ක්‍රීඩකයන්ගේ සූදානම

නෙදර්ලන්තය මෙම තරගය සමඟින් එක් වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ලද පෙරළිකාර ම ජයග්‍රහණය වාර්තා කරමින් වීම වඩාත් විශේෂයි. ඔවුන් නිමා වූ ආසන්නත ම තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 38ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. එය එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් විසින් ටෙස්ට් වරම් හිමි වූ රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසයි ඉතිහාස ගත වෙන්නේ.

ඔවුන් මෙතෙක් මුහුණ දුන් තරග ත්‍රිත්වයෙන් දකුණු අප්‍රිකාව සමඟ වූ තරගයට පෙර පැවති නවසීලන්තය සහ පාකිස්තානය සමඟ තරග නිමා වෙන්නේ පරාජයට පත් වෙමිනුයි.

ඔවුන් ජය ගත් දකුණු අප්‍රිකා තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් නායක Scott Edwards (78) දැක් වූ දක්ෂතාවෙන් අනතුරුව තරගයේ පාලනය නෙදර්ලන්ත පන්දු යවන්නෝ සතු කර ගත්තා. එහි දී Logan van Beek (3/60), Roelof van der Merwe (2/34), Bas de Leede (2/36) සහ Paul van Meekeren (2/40) දැක් වූ දක්ෂතා ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු වුනා.

එබැවින් ලෝක කුසලාන ගමනේ, තම ගමන් මඟ වෙනත් මාවතකට යොමු කිරීමට සමත් වූ කණ්ඩායම ම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කළ හැකියි.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන නෙදර්ලන්ත කණ්ඩායම: Scott Edwards (නායක සහ කඩුලු රකින්නා), Vikramjit Singh, Max O’Dowd, Colin Ackermann, Bas de Leede, Sybrand Engelbrecht,  Teja Nidamanuru, Logan van Beek, Roelof van der Merwe, Aryan Dutt, Paul van Meekeren.

Lucknow, Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය:

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී මුහුණ දෙන දෙවැනි තරගයයි මේ. මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී ඔවුන් ඕස්ට්‍රේලියාව සමඟ තරගයට එක් වන අතර එම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ප්‍රතිවාදීන් වෙත පුද දෙනවා. නෙදර්ලන්තය මෙම ක්‍රීඩාංගණය හා එක් වෙන්නේ පළමු වරටයි.

ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගන්නේ ලකුණු 209ක් පමණක් වූව ද, මෙම ක්‍රීඩාංගණය බොහෝ විට කියැවෙන්නේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගණයක් බවයි.

එබැවින් කාසියේ වාසිය හිමි කර ගන්නේ නම්, කුසල් මෙන්ඩිස් විසින් ඒ පිළිබඳව ද අවධානයට යොමු කරනු නියතයි. ඒ වූවත් පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ නිසි ඉලක්කයක් නොවන්නේ නම් කාසියේ වාසිය පමණක් තරගයක ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවන බැව් ද සිහිතබා ගත යුතුයි.

Lucknow ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශය සෞම්‍ය කාලගුණ තත්ත්වයකින් හෙබි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ.

එවන් තත්ත්වයක් යටතේ ඔවුනොවුන් මෙම තරගයේ දී එක් වූවත් නෙදර්ලන්තය හා තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව ඔවුන්ට පරාජය නොවී තිබීම පමණයි, මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සැනසීමට හේතු වී ඇත්තේ.

එම තත්ත්වය මෙම තරගයේ දී ද පවත්වා ගැනීමට හැකි වන්නේ නම්, එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලබන පළමු තරගය බවට මෙය පත් කර ගත හැකි.

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ලඟා විය හැකි කඩඉම්

  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 5ක් පමණයි.
  • ධනංජය ද සිල්වා: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<