2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට වරම්

ඔලිම්පික් උළෙල 2028

338

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

පසුගිය සතියේ දී එම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ යෝජනාව යොමු වූ පසු අද (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසිවාරයේ දී එයට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වසර 123කට පසු ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් වරම් හිමිව තිබෙන අතර අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත්ව තිබුණේ 1900 වසරේ වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවස්ථාව ලබා ගැනීමට ඉතා වෙහෙස වී කටයුතු කළ අතර ඔවුන් වසර දෙකක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් උළෙල සඳහා සම්බන්ධ වීමේ වැදගත් වන ආකාරය පිළිබඳව ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුණා.

මෙම එක් කිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් 2028 ඔලිම්පික් උළෙල සඳහා බිලියන තුනක ප්‍රේක්ෂකයන් එක් වෙතැයි අපේක්ෂා කරන අතර එය මඟින් ක්‍රිකට් ක්‍රීඩාවට ද නව දොරටු විවර වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙය පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී Greg Barclay ප්‍රකාශ කළේ,

“2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව තහවුරු වීම ගැන අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ඔලිම්පික් උළෙලේ දී අපගේ විශිෂ්ට ක්‍රීඩාව ප්‍රදර්ශනය කිරීමට හැකිවීම විශාල සතුටක්. එමෙන්ම ලෝක මට්ටමේ ප්‍රේක්ෂකයින් ඔලිම්පික් උළෙලට ආකර්ශනය කර ගැනීමට අපගේ ක්‍රීඩාවට ඇති හැකියාව විශ්වාස කරමින් එය ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමට දැක් වූ සහයෝගය ගැන අප ඔලිම්පික් කමිටුවට ස්තුතිය පුද කරනවා.”

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් නැවතත් ඔලිම්පික් උළෙලක් සඳහා ඇතුළත් වූ අතර වසර 100කට පසු ඔලිම්පික් උළෙලක ක්‍රිකට් ක්‍රීඩාව දැක ගැනීමට 2028 වසරේ දී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<