Kohliගේ උපන්දින තෑග්ග

ICC Cricket World Cup 2023

284
ICC Cricket World Cup 2023

13 වැනි ලෝක කුසලාන තරග ඉතිහාසයට වාර්තා රැසක් එක් වූ තවත් තරගයක් ලෙසින් පසුගිය දා නිමා වූ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය හැඳින්විය හැකි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව

  • 37 වැනි තරගය (දිවා/රාත්‍රී) Eden Gardens, නොවැම්බර් 05, 2023, ICC Cricket World Cup
  • කාසියේ වාසිය – ඉන්දියාව
  • තරගයේ වීරයා – Virat Kohli (ඉන්දියාව)

ඉන්දියාව – කඩුලු 5ක් දැවී 326 (50) Rohit Sharma 40, Shubman Gill 23, Virat Kohli 101, Shreyas Iyer 77, Suryakumar Yadav 22, Ravindra Jadeja නොදැවී 29

දකුණු අප්‍රිකාව – සියලුම දෙනා දැවී 83 (27.1) Marco Jansen 14, Ravindra Jadeja 5/33, Mohammed Shami 2/18, Kuldeep Yadav 2/07

ඉන්දියාවට ලකුණු 243ක ජයග්‍රහණයක්.

49: මෙම තරගයේ දී Virat Kohli ලබා ගන්නේ තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 49 වැනි ශතකයයි. ඒ අනුව ඔහු එතෙක් වැඩිම එක්දින ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් ලබා සිටි Sachin Tendulkar හා සම සමව අසුන් ගැනීමට සමත් වුනා.

Player Mat Inns NO Runs HS Ave 100 50 4s 6s
Virat Kohli 289 277 44 13626 183 53.48 49 70 1276 148
Sachin Tendulkar 463 452 41 18426 200* 44.83 49 96 2016 195

Sachin Tendulkarට මෙම ශතක 49 ලබා ගැනීම සඳහා වසර 22ක් ගත වෙන අතර Virat Kohliට මේ සඳහා ගත වෙන්නේ වසර 15ක කාලයක් පමණයි.

මෙම ශතකය ඔහුගේ 35 වැනි උපන්දිනය යෙදුණ නොවැම්බර් 05 වැනිදා වාර්තා වූ අතර එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ එවන් දිනයන් හී ශතක වාර්තා කළ තෙවැනි ක්‍රීඩකයා බවට ද ඔහු පත්වුනා.

ඔහුට පෙර නවසීලන්තයේ Ross Taylor පාකිස්තානයට එරෙහිව සිය 27 වැනි උපන්දිනය දා ද සහ ඕස්ට්‍රේලියාවේ Mitchell Marsh පාකිස්තානයට එරෙහිව සිය 32 වැනි උපන්දිනය දා ද මේ කඩඉම් වාර්තා කළා.

100 x 10: Kohli තම ශතක 49න් ශතක 10ක් ම වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව වීම විශේෂත්වයක්. එය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ එක් ක්‍රීඩකයෙක් විසින් එක් රටකට එරෙහිව වාර්තා කරන ලද වැඩිම ශතක ප්‍රමාණයයි.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එසේ ප්‍රතිචාර දක්වද්දී, ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතක 9ක් සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක 8ක් ද වාර්තා කිරීමට සමත් වෙනවා.

Sachin Tendulkar එක් රටකට එරෙහිව ලබා ඇති වැඩිම ශතක ප්‍රමාණය වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ඇති ශතක 9යි.  එය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වුනා.

243: මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 243කින් පරාජය වන අතර එය ඔවුන් තම ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් හමුවේ පරාජය වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.

ඊට පෙර ඔවුන් එලෙස පරාජය වී තිබුණේ පාකිස්තානය හමුවේයි. ඒ 2002 වසරේ දී ලකුණු 182කින් පරාජයට පත් වෙමිනුයි.

200+: ඉන්දීය කණ්ඩායම මෙම වසරේ දී එක්දින ජාත්‍යන්තර තරගවල ලකුණු 200කට වැඩි පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය කළ 5 වැනි තරගය මෙයයි. ඔවුන් මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව අවස්ථා 2ක දී ලකුණු 317කින් සහ ලකුණු 302කින් ද, පාකිස්තානයට එරෙහිව ලකුණු 228කින් ද සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 200කින් ද ජයග්‍රහණය ලබා තිබෙනවා.

83/10 (27.1): දකුණු අප්‍රිකාව මෙම තරගයේ දී ලකුණු 83කට දැවී යන අතර එය එක්දින ලෝක කුසලාන තරගවල ඔවුන් ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගොස් තිබුණේ 2007 වසරේ දීයි. ඒ ඕස්ට්‍රේලියාව හමුවේ පන්දුවාර 43.5ක දී ලකුණු 149කට දැවී යෑමෙනුයි.

  • මෙම ඉනිම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දියාව ඉදිරියේ අඩුම ලකුණු ලබා ගත් කණ්ඩායම් අතර දෙවැනි තැනට පත්වුනා. එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ පසුගිය දා ලකුණු 55ට දැවී ගිය ශ්‍රී ලංකාවයි.
  • දකුණු අප්‍රිකාව ලබා ගත් මෙම ලකුණු 83, ඔවුන්ගේ එක්දින ජාත්‍යන්තර තරගවල දෙවැනි ස්ථානයේ සම ව අසුන් ගත් ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර ඔවුන් 2008 වසරේ දී එංගලන්තය හමුවේ ද ලකුණු 83කට දැවී ගොස් තිබෙනවා.

ඔවුන් එක්දින තරග ඉතිහාසයේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ 1993 වසරේ දී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 69කටයි.

100-: ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වසරක දී ලකුණු 100කට අඩුවෙන් ප්‍රතිවාදී කණ්ඩායම් දවා ගත් අවස්ථාවන් 4ක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වෙනවා. ඒ අනුව ඔවුන් රටවල් 3ක් පසුපසට දමමින් එහි පළමුවැනියා බවට පත්වුනා.

Opposition Team Score Overs Ground Date
1 ශ්‍රී ලංකාව 73 22.0 Thiruvananthapuram 15-01-2023
2 ශ්‍රී ලංකාව 50 15.2 Colombo (RPS) 17-09-2023
3 ශ්‍රී ලංකාව 55 19.4 Wankhede 02-11-2023
4 දකුණු අප්‍රිකාව 83 27.1 Eden Gardens 05-11-2023

මීට පෙර මෙම ලැයිස්තුවේ සම ස්ථාන 3ක් රැඳී තිබුණා. ඒ 1993 දී පාකිස්තානය ලකුණු 71කට සහ 43කටත් සිම්බාබ්වේ ලකුණු 99කටත් දවා ගත් බටහිර ඉන්දීය කොදෙව්වනුත්, 2006 වසරේ දී ඕස්ට්‍රේලියාව ලකුණු 93කටත්, පාකිස්තානය ලකුණු 89කටත් සහ ඉන්දියාව ලකුණු 91කටත් දවා ගත් දකුණු අප්‍රිකාවත් සහ 2007 වසරේ දී ඕස්ට්‍රේලියාව ලකුණු 93කටත්, පාකිස්තානය ලකුණු 89කටත් සහ ඉන්දියාව ලකුණු 91කටත් දවාගත් ශ්‍රී ලංකාවත් යන රටවල්.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<