ඉන්දීය, ජර්මානු සිහින බොඳ කරමින් නෙදර්ලන්තය සහ බෙල්ජියම ඉදිරියට

156

ඉන්දියාවේ බුවනේස්වර් හි පැවැත්වෙන 14 වැනි ලෝක කුසලාන හොකී තරගාවලියේ 16 වැනි දිනය වන ඊයේ දිනය (13) නිමා කරමින් පැවැත්වූ සුපිරි 8 දෙනාගේ වටයේ අවසන් තරග යුගලයෙන් සත්කාරක ඉන්දියාව සහ ජර්මනිය පරදා නෙදර්ලන්තය සහ බෙල්ජියම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටයේ සිය ආසන වෙන්කර ගනියි

2018 ඔඩිශා ලෝක කුසලාන හොකී තරගාවලියේ අතිශයින් තීරණාත්මක සුපිරි අට දෙනාගේ වටයේ …

ජර්මනිය සහ බෙල්ජියම අතර තරගය

ලෝක හොකී ශ්‍රේණිගත කිරීම් හී හයවැනි ස්ථානයේ පසුවන ජර්මනිය සහ තෙවන ස්ථානයේ රැඳී සිටින බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඉතා උද්වේගකර ක්‍රීඩා රටාවක් දියත් කරමින් හොඳ තරගයක් ලබා දීමට දෙපිලම කැප වී ක්‍රීඩා කරන අයුරු මැනවින් දිස්විය.

ප්‍රථමයෙන්ම ගෝල ලබා ගැනීමේ ගෞරවය  ජර්මනිය තමන් සතුකර ගත්තේ පළමු කාර්තුව නිමා වීමට මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දී මැදපෙළ ක්‍රීඩක ඩියේටර් ලිනෝකගෙල් විසින් ගෝලය දෙසට කල්යල් බලා වැරෙන් එල්ල කළ පහර සාර්ථක කරගැනීම නිසාවෙනි. එය වැළැක්වීමට බෙල්ජියම් ගෝල කින්නා ප්‍රභබ උත්සාහයක් දැරූ නමුත් ගෝලය රැක ගැනීමට ඔහු අපොහොසත් විය.

දෙවන කාර්තුව ආරම්භ කරමින් බෙල්ජියම ප්‍රබල මුහුණුවරකින් තරගයට පිවිසි අතර 18 වන විනාඩියේ දී බෙල්ජියම් ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් හෙන්රික්ස් විසින් penalty corner අවස්ථාවක් උපයෝගී කරගනිමින් අපූර්ව ගෝලයක් වාර්තා කළේ දෙපිලේම ගෝල මට්ටම සම කරමිනි. ප්‍රථම අර්ධය තුල දී දෙපිලම කරට කර සටනක නියැලුණු අතර ජර්මනියට සාපේක්ෂව ගෝල රැස්කිරීමට ඉතා ආසන්න අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කිරීමට බෙල්ජියම් ක්‍රීඩකයින් සමත් වූ නමුත් ජර්මානු ගෝල රකින්නා එම අවස්ථාවන් සියල්ලම හොඳින් මැඩපැවැත්වූයේ තම උපරිමය කණ්ඩායමට ලබා දෙමිනි.

පළමු අර්ධයේ දී දක්නට ලැබුණු වේගවත් ක්‍රීඩා විලාසය ඒ ලෙසින්ම පවත්වා ගත් දෙපිලේම ක්‍රීඩකයින් තම ආරක්ෂක රැකවල් තර කරමින් ගෝල ලබා ගැනීමට ඇති අවස්ථාවන් සීමා කිරීමට විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරනු දක්නට ලැබීය.

කෙසේ වුවත් බෙල්ජියම් ක්‍රීඩකයින්ගේ සංවිධානාත්මක භාවය සහ උපායශීලීත්වය මනාවට පිළිබිඹු කරමින් තරගය නිමා වීමට මිනිත්තු 10ක් ඉතිරිව තිබිය දී තීරණාත්මක ගෝලයක් වාර්තා කිරීමට බෙල්ජියමයට හැකි වූයේ නායක තෝමස් බ්‍රියෙල්ස් සහ ටොම් බූන්ගේ සුසංයෝගයේ ප්‍රතිඵලයක් වශයෙනි.

තෝමස් විසින් එල්ල කර ජවසම්පන්න පහර නතර කිරීමට ජර්මානු ගෝල රකින්නාට හැකි වුවත් ටොම් බූන් විසින් ගෝල රකින ක්‍රීඩක වෝල්ටර්ගේ වැඳී ඉදිරියට ඇදුණු පන්දුව පෙරළා ගෝල කණු අතරින් යොමු කළේය.

එම ගෝලයත් සමඟම තම යුරෝපීය මිතුරන්ගේ ලෝක කුසලාන සිහින ගමන් මඟට නැවතීමේ තිත තැබීමට බෙල්ජියමයට හැකි විය. අවසන් මිනිත්තු කිහිපය තුල දී ජර්මනිය නැවතත් තරගයට පිවිසීමට උත්සහ කළ ද ඔවුන්ගේ එම වෑයම බෙල්ජියම ආරක්ෂක පවුර බිඳ හෙළීමට තරම් ප්‍රබල නොවීය.

ඒ අනුව තරගය ජය ගත් බෙල්ජියම කණ්ඩායම හෙට (15) දිනයේ දී අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් එංගලන්ත කණ්ඩායම හමුවීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: ජර්මනිය 1 – 2 බෙල්ජියම

ගෝල ලබා ගැනීම

  • ජර්මනිය –  ඩියේටර් ලිනෝකගෙල් 1
  • බෙල්ජියම – ඇලෙක්සැන්ඩර් හෙන්ඩ්‍රික්ස්  1, ටොම් බූන් 1

බෙල්ජියම සහ නෙදර්ලන්තය හොකී ලෝක කුසලානයේ සුපිරි 8 දෙනා අතරට

ඉන්දියාවේ බුවනේස්වර්හී මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන හොකී තරගාවලියේ 14 වැනි දිනය …

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය

තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ තරගය මෙය කීවොත්  නිවැරදිය. සත්කාරක ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක ජනකායක් පැමිණ සිටි අතර ක්‍රීඩාංගණය සහ ඒ අවට සැණකෙළි ස්වරූපයක් ගන්නා ලදි.

මූලික වටයේ දී තමන් සහභාගි වූ තරග තුනෙන් තරග දෙකක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ ඉන්දීය පිළ ඉහළ මානසික මට්ටමකින් තරගයට අවතීර්ණ විය. ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායම මූලික වටයේ තරගයක දී ජර්මනිය අතින් පරාජයට පත් වූවත් අවසන් තරග ද්විත්වය හොඳින් ක්‍රීඩා කරමින් සුපුරුදු රිද්මයට අනුගත වෙමින් පැවතුණි.

පැමිණ සිටි ප්‍රේක්ෂක ජනයා අමන්දානන්දයට පත් කරමින් අක්ෂ්ධීප් සිං ලකුණු පුවරුවට පණ දුන්නේ තරගය පිළිබඳ ඉන්දියානුවන් තුල බලාපොරොත්තු දල්වාලමිනි. 12 වැනි විනාඩියේ දී තම පිත්තට පන්දුව ලබා ගත් ආකාෂ්ධීප් සිං විසින් වේගයෙන් එල්ල කර පන්දුව නෙදර්ලන්ත දකුණු පස ගෝල කණුව අසලින් දැල තුලට යොමුකරමින් එම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ප්‍රථම කාර්තුව අවසානයට තත්පර කිහිපයකට පෙර ක්‍රියාත්මක වූ යුරෝපීය ශූරයන් මුලු ක්‍රීඩාංගණයම නිහඬ කරවමින් ඉතා දැකුම්කළු කණ්ඩායම් ගෝලයක් වාර්තා කරන්නට විය. මිර්කෝ විසින් යොමු කළ පන්දුව තම පිත්ත මැනවින් හසුරවමින් ගෝලය තුලට එල්ල කිරීමට ඕලන්ද ක්‍රීඩක තියෙරි බ්‍රින්ක්මන්ට හැකි විය.

ඒ අනුව උණුසුම් තරග අවසානයක පෙර නිමිති පහළ කරමින් පළමු කාර්තුව එසේ නිමා වූවත් දෙවන සහ තුන්වැනි කාර්තුවල දී කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට විවිධ උපාය මාර්ගයන් භාවිතා කළත් ගෝල රහිතව අවසන් විය. නෙදර්ලන්තයට හිමි වූ penalty corner අවස්ථාවන් කිහිපයක්ම ඔවුන් අපතේ හැරි අතර අකාෂ්ධීප් විසින් එල්ල  කළ වේගවත් backhand පහර ගෝලය ඉහළින් ඇදී ගියේ ඉන්දීය කණ්ඩායමට තරගයේ පෙරමුණ ගැනීමට තිබූ අපූර්ව අවස්ථාවක් අහිමි කරමිනි.

තරගයේ 50 වැනි විනාඩියේ දී යලි ජීවය ලැබූ නෙදර්ලන්ත ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රීඩක කන්ගුජම් විසින් ඉන්දීය ගෝල සීමාව කවයට ආසන්නය දී සිදු කළ වරදකට පිරිනැමූ penalty corner අවස්ථාව සාර්ථකව යොදා ගනිමින් නෙදර්ලන්ත ගෝල සංඛ්‍යාව 2 දක්වා ඉහළ දැමීමට හැකි විය. මින්ක් වැන්’ඩර් වීඩන් විසින් එම ගෝලය වාර්තා කළේය.

ඉන්දීය කණ්ඩායමෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු කෙමෙන් උදුරා ගත් ඕලන්ද ක්‍රීඩකයෝ මැනවින් තම ගෝල ප්‍රදේශය ආරක්ෂා කරමින් තරග ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වූයේ සත්කාරක දේශය තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි. ඕලන්ද ජයග්‍රහණයේ වැදගත් කාර්‍යභරයක් ඔවුන්ගේ ගෝල රකින්නා වන පිර්මින් බ්ලාක් විසින් ඉටු කළේ හර්මින්පීට් විසින් එල්ල කර නියත ගෝලයක් තම කණ්ඩායම වෙනුවෙන් රැක ගනිමිනි.

හෙට (15) දිනයේ දී පැවැත්වෙන  දෙවන අවසන් පූර්ව වටයේ තරගයේ දී නෙදර්ලන්තය  ගියවර ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: ඉන්දියාව  1 – 2 නෙදර්ලන්තය

ගෝල ලබාගැනීම

  • ඉන්දියාව – ආකාෂ්ධීප් සිං 1
  • නෙදර්ලන්තය  – තියෙරි බ්‍රින්ක්මන් 1, මින්ක් වැන්’ඩර් වීඩන් 1

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<