ඉන්දීය කඳවුරට ඇතුල් වීමට පෙර

ICC World Cup 2023

332
ICC World Cup 2023

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 7 වැනි තරගය, ඉන්දියාව සමඟින් හෙට (02) Mumbai හී Wankhede ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 33 වැනි තරගයයි.

ලෝක කුසලානයේ මේ දක්වා තරග 6ක් බැගින් ක්‍රීඩා කර ඇති අතර ඔවුන් මෙම තරගය සඳහා එක් වෙද්දී ඉන්දියාව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ අපරාජිතයන් වෙමින් පළමුවැනි ස්ථානයේත්, තරග 2ක් ජයග්‍රහණය කළ සහ තරග 4ක් පරාජය වූ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේත් සිටිනවා.

දෙරට ක්‍රීඩකයෝ මෙම තරගයේ දී එකිනෙකා හමුවෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට දී පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුවයි. එම තරගය පන්දු 129කට පමණක් සීමා වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දු 92කට සීමා වූ අතර ඔවුන් ලබා ගත්තේ ලකුණු 50ක් පමණයි.

කෙසේ වෙතත් දෙරට එක්දින තරග ඉතිහාසයේ මේ දක්වා තරග 167ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 98ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රි ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 57ක් පමණයි. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර තරග 11ක් නොවිසඳුණ තරග සේ එක් ව තිබෙනවා.

ලෝක කුසලාන තරගවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්ථා 9ක දී මීට පෙර හමුව ඇති අතර ඉන් තරග 4ක් බැගින් ජයග්‍රහණය කිරීමට දෙරට ක්‍රීඩකයෝ සමත්ව තිබෙනවා. අනෙක් තරගය අවසන් ව ඇත්තේ විසඳුමකින් තොරවයි.

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (ආබාධයකින් එළියට- ඒ වෙනුවට චාමික කරුණාරත්න) කුසල් මෙන්ඩිස් (නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර (ආබාධයකින් එළියට – ඒ වෙනුවට දුෂ්මන්ත චමීර), දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ (ආබාධයකින් එළියට – ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස්)
  • ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Hardik Pandya, Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Siraj, Kuldeep Yadav, Mohammed Shami, Ravichandran Ashwin, Ishan Kishan, Suryakumar Yadav.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

නිමා වූ ආසන්නත ම තරගයේ දී ඇෆ්ගනිස්තානය වෙතින් අනපේක්ෂිත පරාජයකට පත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වෙන්නේ මෙවර ලෝක කුසලානයේ සුපිරිතමයන් ලෙසින් හැඳින්වෙන කණ්ඩායම සමඟයි. එබැවින් මෙම තරගය ශ්‍රී ලංකාවේ අන් තරගවලට වඩා, වඩාත් අවධානයකින් ක්‍රීඩා කළ යුතු තරගයක්.

එබැවින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට සිදු වෙන්නේ ජාමෙ බේරා ගැනීමේ සූදානමක් සහිත කණ්ඩායමක් නම් කිරීමටයි. එබැවින් පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයට ද ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තව දුරටත් ශ්‍රී ලංකා පිතිකරු පෙළ ගැස්මේ විශ්වාසවන්තයන් වී සිටින අතර චරිත් අසලංක සේ ම දිමුත් කරුණාරත්න ද ඊට ඉතා ඉක්මනින් එක් විය යුතුයි.

පන්දු යැවීමේ දී තවදුරටත් කණ්ඩායමේ දක්ෂතාවක් මේ දක්වා නොදැකීම මේ සා විපත් ගෙන දෙන කාරණයක් ලෙසින් හිතිය හැකි. ඒ හීන වන දක්ෂතා අතරට පෙර තරගයේ දී ලෝක කුසලාන තරගාවලිය හා එක් වූ ඇන්ජලෝ මැතිව්ස් දැක් වු දක්ෂතාවන් අගය කළ යුතුයි.

කෙසේ වෙතත් මෙම තරගයේ දී ධනංජය ද සිල්වා වෙනුවට දුනිත් වෙල්ලාලගේ කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, පැවැසේ. කණ්ඩායමේ වෙනසක් සිදු කෙරෙන්නේ නම්, කළ හැකි එක ම දේ ද වෙන්නේ එයයි.

ධනංජය ද සිල්වා මේ දක්වා තරග 6ක ඉනිම් 5ක දී ලබා ගෙන ඇත්තේ ලකුණු 87ක් පමණයි. පන්දු යැවීමෙන් ඔහුට එකඳු හෝ කඩුල්ලක් දවා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

ඉන්දියාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා/ දුනිත් වෙල්ලාලගේ, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ෂාන් මදුශංක,

ඉන්දීය කණ්ඩායමේ සූදානම

මේ වෙද්දීත් අවසන් පූර්ව වටයේ අසුනකට හිමිකම් කියන ඉන්දියාව තම කණ්ඩායම නම් කිරීමේ දී පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම එක් කර ගනු ඇතැයි විශ්වාස කළ හැකි.

කණ්ඩායමේ වඩාත් ම භයානක පිතිකරුවන් අතර නායක Rohit Sharmaට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔහු මෙවර ලෝක කුසලානයේ මේ දක්වා ඉනිම 6ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 398ක්. එහි සාමාන්‍ය 66.33ක්.

ඒ අතර සිටින Virat Kohli ඉනිම් 6 දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 354ක් වන අතර එහි සාමාන්‍ය 88.5ක් ලෙසින් ඉහළ අගයක් පවත්වා ගැනීමට ඔහු සමත් ව තිබෙනවා.

ඊට අමතරව මෙම ලැයිස්තුවේ KL Rahul ද සිටිනවා. ඔහු මේ දක්වා තරග 6ක ඉනිම් 5ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 216ක් වන අතර එහි සාමාන්‍ය 108.0ක් ලෙස පවත්වා ගෙන යෑමට ඔහු සමත් ව සිටිනවා.

ඉන්දීය පන්දු බලඇණියේ ප්‍රධාන තුරුම්පුව වී ඇත්තේ Jasprit Bumrah. ඔහු ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා කඩුලු 14ක් ලබා සිටිනවා. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වී ඇත්තේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 39කට දවා ගත් කඩුලු 4යි.

ඔහුට අමතරව Kuldeep Yadav කඩුලු 10ක් ලබා ගනිමින් ද, Mohammed Shami කඩුලු 9ක් ලබා ගනිමින් ද සහ Ravindra Jadeja කඩුලු 8ක් ද ලබා ගනිමින් ඉන්දීය ජයග්‍රහණයේ කොටස්කරුවන් වී සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul (කඩුලු රකින්නා), Suryakumar Yadav, Ravindra Jadeja, Mohammed Shami, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj.

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ලඟා විය හැකි කඩඉම්

  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 3ක් පමණයි.
  • ධනංජය ද සිල්වා: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • සදීර සමරවික්‍රම: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 54ක් පමණයි.
  • කසුන් රාජිත: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 7ක් පමණයි.
  • දිමුත් කරුණාරත්න: මෙම තරගයේ දී දිමුත් කරුණාරත්න කණ්ඩායමට එක් වේ නම්, ඒ ඔහුගේ 50 වැනි එක්දින දින ජාත්‍යන්තර තරගයයි.
  • Virat Kohli: මෙම තරගයේ දී ශතකයක් වාර්තා කළහොත් ජාත්‍යන්තර එක්දින තරග පිටියේ වැඩිම ශතක වාර්තා කළ ක්‍රීඩකයන් අතර සම තැන ගන්නවා. මෙහි පළමු ස්ථානය ශතක 49ක් ලබා සිටින Sachin Tendulkar සතු වන අතර Virat Kohliලබා ඇති ශතක සංඛ්‍යාව 48ක්.
  • Jasprit Bumrah: එක්දින ජාත්‍යන්තර කඩුලු 150ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 7ක් පමණයි.
  • Ishan Kishan: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 67ක් පමණයි.
  • Shreyas Iyer: එක්දින ජාත්‍යන්තර ලකුණු 2000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 65ක් පමණයි.

Wankhede Stadium, Mumbai

1987 වසරේ දී එක්දින ජාත්‍යන්තර වරම් ලබා ගත් මෙම ක්‍රීඩාංගණයේ මංගල එක්දින තරගයේ ඉන්දියාවේ ප්‍රතිවාදීන් වෙන්නේ ශ්‍රී ලංකාවයි. එම තරගයෙන් ඉන්දියාව ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව මතක හිටින තරගයකට එක් වෙන්නේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටයි. ඉන්දියාව සමඟ පැවති එම තරගයෙන් ඔවුන් කඩුලු 6ක ජයග්‍රහණක් ලබා ගන්නවා. එතැන් සිට දෙරට ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩාංගණයේ දී හමු වී නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී තරග 5කට එක් වී ඇති අතර ඉන් ජයග්‍රහණය කරන්නේ තරග 2ක දී පමණයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්වැනි තරගයයි මේ. එහි අවසන් තරග 2 දී දකුණු අප්‍රිකානුවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 350 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වූ මෙම තණතිලි මත පළමුවෙන් පන්දුවට පහර දීම වඩාත් සුදුසුයි.

එරට කාලගුණ වාර්තාවන් දක්වන විදිහට ක්‍රීඩාංගණය හා ඒ අවට සෞම්‍ය කාලගුණ තත්ත්වයක් පැවැතෙනවා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<