අර්බුද රැසක් මැද 83 දී සිංහයින් දිනූ ප්‍රථම එක්දින වික්‍රමය

130
අර්ජුන රණතුංග (gettyimages)

1983 වසරේ අප්‍රේල් මාසයේ දී මෙරට ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් වසන්තය රැගෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නට විය. එම කාල සමය වන විට ලෝක ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලතම චරිත දෙකක් වූ ග්‍රේග් චැපල් සහ ඩෙනිස් ලිලී ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් නොඉවසිල්ලෙන් පසුවිය.

දෙරට අතර තරග 4කින් සමන්විත එක්දින තරගාවලියක් සහ ටෙස්ට් තරගයක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් විය. ඒ අනුව මුලින්ම එක්දින තරගාවලියේ තරග 2ක් පවත්වා ඉන් පසුව ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් පසුව ඉතිරි එක්දින තරග දෙක ක්‍රීඩා කිරීම තරගාවලියේ තරග සැලසුම විය.

එවැනි වටපිටාවක අප්‍රේල් 13 වැනිදා ආරම්භ වූ එක්දින තරගාවලියේ පළමු තරගයෙන්ම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තැනේ හැටියට ඇණේ ගැසූ ආනෝල්ඩ්

පළමු තරගයෙන් ලංකාවට තියුණු ජයක්

කොළඹ පී සරා ඕවල් පිටියේ පැවති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැංගරුවන් නොඉඳුල් තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දෙන්නට විය. නමුත් පළමු පැයේ දී තණතීරුවේ තිබුණු දෝලනයෙන් ප්‍රයෝජන ගත් විනෝදන් ජෝන් ආරම්භක පිතිකරු බැරී ස්මිත්ව ලකුණකට දවා ගන්නා විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ සටහන් වුනේ ලකුණු 15ක් පමණි.

ඕස්ට්‍රේලියානු ඉනිම ස්ථාවර වෙයි

ඉනිම ආරම්භයේ දීම කඩුල්ලක් දැවී ගියත් ඉන්පසුව පිටියේ එක් වූ ග්‍රැහැම් වුඩ් සහ ග්‍රැහැම් යැලොප් ඉතාමත් සුපරීක්ෂාකාරීව පන්දුවට පහර දෙන්නට විය. හොඳ පන්දු මඟ හරිමින් දුර්වල පන්දුවලට පමණක් පහර දෙමින් ඔවුන් දෙදෙනා ගොඩනැගූ අගනා සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 87/1ක් බවට පත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක වෙයි

ඕස්ට්‍රේලියානු පිතිකරු යුගලය වේගපන්දු යවන්නන් හමුවේ සාර්ථකව ලකුණු ලබා ගත්ත ද අර්ජුන සහ සෝමචන්ද්‍ර ද සිල්වා පන්දු යැවීමට පැමිණීමත් සමඟම ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල විය. 

එහි දී අර්ජුන වේගය අඩාල කරමින් යැවූ මද වේගපන්දුත්, සෝමචන්ද්‍ර ද සිල්වා මනා දඟ කැවීමක් සහිතව යැවූ පන්දුත් හමුවේ කැංගරුවන් අසරණ විය. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වටා ගොඩනැගුණු පීඩනය නිසාම ලකුණු 50ක් ලබා සිටි වුඩ් සෝමචන්ද්‍ර ද සිල්වා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන්නට විය.

ඉන්පසුව ඉක්මනින්ම ක්‍රියාත්මක වූ අර්ජුන, සෝමචන්ද්‍ර සහ ජෝන් කඩුලු කිහිපයක් දවා ගත් නිසා කැංගරු ලකුණු පුවරුව 118/6ක් ලෙසින් දිස් විය. එහි දී ග්‍රේග් චැපල්, හූක්ස් සහ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා දැවී යාම ඕස්ට්‍රේලියානුවන්ට බලවත් පාඩුවක් විය.

ශ්‍රී ලංකාව ගැන උදම් ඇනූ සුදු සුමිතුරා ‘ටෝනි ග්‍රේග්’

කැංගරුවන්ගෙන් ලකුණු 169ක ඉලක්කයක් 

නොසිතූ අවස්ථාවක සිදු වූ හදිසි බිඳවැටීමෙන් පසුව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටොම් හෝගන් පන්දු 25කින් ලබා ගත් වේගවත් ලකුණු 27 නිසා නියමිත පන්දුවාර 45 අවසානයේ දී ඕස්ට්‍රේලියානු ඉනිම 168/9ක් ලෙසින් සටහන් විය. 

එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ ජෝන්, අසන්තා, අර්ජුන සහ සෝමචන්ද්‍ර ද සිල්වා  කඩුලු 2 බැගින් දවා ගන්නට විය. එසේම ශ්‍රී ලංකා කඩුලු රකින්නා ලෙස කටයුතු කළ ගයි ද අල්විස් උඩපන්දු 5ක් රැක ගැනීම සුවිශේෂී සිදුවීමක් විය. එම අවදියේ දී ඔහුට පෙර එම දස්කම දක්වා තිබුණේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු වූ රොඩ්නි මාෂ් පමණි.

ගයි ද අල්විස් (gettyimages)

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක් 

ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් සුසිල් ප්‍රනාන්දු සහ සිදත් වෙත්තමුණි ඉනිම ආරම්භ කරන්නට විය. එදා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ඉතාමත් සංයමයෙන් පිත්ත හැසිර වූ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක් එකතු කරන්නට විය. ඒ අනුව එම අවස්ථාව වන විට තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව සතු විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාව ක්‍රියාත්මක වූ ටොම් හෝගන් සහ ග්‍රේග් චැපල් ඉක්මනින්ම කඩුලු 3ක් දවා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 82/3ක් ලෙසින් දිස් විය. 

එම අවස්ථාවේ දී පිටියේ එක් වූ දුලිප් සහ රංජන් ලකුණු 20ක සබඳතාවයක් ගොඩනගමින් ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 112/5ක් බවට පත් වූයේ තරගය දෙපිලටම විවෘත කරමිනි. 

ශ්‍රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක්

තරගය තියුණු මුහුණුවරකට හැරුණු අවස්ථාවේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අසන්තා ද මෙල් පන්දු 27කින් ලබා ගත් ලකුණු 27 තීරණාත්මක ඉනිමක් විය. එසේම ඉතාමත් වගකීමෙන් පන්දුවට පහර දුන් සෝමචන්ද්‍ර ද සිල්වා ජයග්‍රහණය දක්වාම එක් අන්තයක් රැකගනිමින් පන්දුවට පහර දුන්නේ ලකුණු 16ක් ලබා ගනිමිනි. 

ඒ අනුව එදා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.1ක් අවසානයේ දී කඩුලු 8ක් දැවී තරගය ජයග්‍රහණය කළේ කැංගරුවන් හමුවේ ලද මුල්ම එක්දින ජයග්‍රහණය වාර්තා කරමිනි. එදා උඩපන්දු 5ක් රැකගනිමින් එක්දින පිටියේ විරල දස්කමක් දැක්වූ ගයි ද අල්විස් තරගයේ වීරයා ලෙස සම්මාන ලබන්නට විය.

අර්ජුණගේ සුපිරි ඉනිම නිසා තවත් ජයක්

පී සරා ඕවල් පිටියේ දී ම පැවති දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම සඳහා ඇරයුම් කරන්නට විය. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැංගරුවන් නියමිත පන්දුවාර 45 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 207ක් ලබා ගන්නට විය. 

එහි දී ඕස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කළ ග්‍රැහැම් යැලොප් සහ ග්‍රේග් චැපල් පිළිවෙළින් ලකුණු 59ක් සහ 54ක් ලබා ගන්නට විය. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ රුමේෂ් කඩුලු 2ක් දවා ගන්නා විට අර්ජුන සහ ජෝන් කඩුල්ල බැගින් දවා ගන්නට විය.

ලකුණු 208ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ සිදත් සහ සුසිල් පන්දුවාර 29ක් පමණ වැය කර ඉතාමත් මන්දගාමී ආරම්භයක් ලබා දෙන්නට විය. එම නිසාම ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට වැඩි ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වූ නිසා පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට තල්ලු වන්නට විය.

උපුල් තරංග ලකුණු 7000 බලාපොරොත්තු අතහැර නැහැ

ශ්‍රී ලංකාව කබලෙන් ලිපට වැටෙයි

ඉතාමත් මන්දගාමී ආරම්භයක් ලබා ගත්ත ද රෝයි, දුලිප්, රංජන්, සහ අර්ජුණ වැනි වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් පැමිණීමට නියමිතව සිටි නිසා ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තුවෙන් පසු විය. 

නමුත් එම අවස්ථාවේ දී සුසිල් දුවද්දී දැවී යාමෙන් පසුව ක්‍රියාත්මක වුණු යාඩ්ලි සිදත්, රෝයි සහ දුලිප් යන ප්‍රබලම පිතිකරුවන් ත්‍රිත්වය දවා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 108/4 බවට පත්කරමිනි.

සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ වේගවත් පිතිහරඹයක් දියත් කරමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සැලසුම් කළ අර්ජුන සහ රංජන් පිටිය පුරා පහරවල් එල්ල කරන්නට විය. 

එහි දී ටොම් හෝගන්ට සහ ග්‍රේග් චැපල්ට එළව එළවා පහර දුන් රංජන් සහ අර්ජුන වේගවත් ලකුණු 69ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 177/4ක් දක්වා ඉහළ දමමිනි. නමුත් එම අවස්ථාවේ දී පන්දු 23කින් ලකුණු 37ක් ලබා සිටි රංජන් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මෙල් ඉක්මනින්ම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම 178/6 බවට පත්කරමිනි.

රංජන් මඩුගල්ලේ (gettyimages)

අර්ජුණගෙන් සුපිරි අවසානයක්

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම යළි අවදානම් අඩියකට වැටුණු අවස්ථාවේ අභීත පිතිහරඹයක නිරත වූ අර්ජුන පන්දුවාර 43.1ක් තුළ කණ්ඩායම් දෙකේ ලකුණු මට්ටම් සම කරන විට ඔහුගේ පෞද්ගලික ලකුණු ප්‍රමාණය 49 ලෙසින් සටහන් විය. 

ඉන්පසුව ග්‍රේග් චැපල්ගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කළ අර්ජුන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට විය. එහි දී ඔහු පන්දු 39කින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේ සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකයත් වාර්තා කරමිනි. එසේම පරාජය හමුවේ දියත් සුපිරි ඉනිම නිසා අර්ජුනට තරගයේ වීරයා සම්මානය ද හිමි විය.

ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි තරග 2ම වර්ෂාවෙන් සේදී යන්නට විය. එම නිසාම ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කළේ ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමිනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද රැසක් පසුකරමින් සිටි එම අවධියේ ලබාගත් එම ජයග්‍රහණය හැමදාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<