චින්තන ඇතුළු ප්‍රබලයින් රැසක් ඕස්ට්‍රේලියාවට

462

ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඇතුළත් කරමින් මීළඟ පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංචිතය ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් නිවේදනය කර ඇත.

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග 2018 අප්‍රේල් මස 5 වැනි දා සිට 9 වැනි දා දක්‌වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්‌ට්‌ නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

ජර්මනියේ පැවති ස්වෙන් ලාංජ් බොක්සිං තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට සමත් විය…

2006 වසරේ ඕස්ට්‍රේලියාවේ දී ක්‍රියාත්මක වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රැම් 62කට අඩු බර පන්තිය යටතේ රන් පදක්කමක්‌ දිනා ගනිමින් මෙරටට බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නව බලාපොරොත්තුවක් ගෙන ආ චින්තන ගීතාල් විදානගේ, මෙවර ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ. 2006 වසරේ දී ඔහු ස්‌නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 118ක්‌ ද, ක්‌ලීන් ඇන්ඩ් ජර්ක්‌ ක්‍රමයට කි.ග්‍රෑ. 153ක්‌ ද ලෙස කි.ග්‍රෑ. 271ක බරක් ඔසවමින් රන් පදක්කම දිනා ගත්තේය.

2002 (මැන්චෙස්‌ටර්), 2006 (මෙල්බර්න්), 2010 (නවදිල්ලි) සහ 2014 (ග්ලාස්‌ගෝව්) යන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල් සඳහා විදානගේ සහභාගී වූ අතර 2010 වසරේ ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වූ තරගාවලියේ දී කි.ග්‍රෑ. 69ට අඩු බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කමක්‌ දිනා ගැනීමට ද ඔහු සමත් විය. එහි දී ඔහු එසවූ මුළු බර ප්‍රමාණය කි.ග්‍රෑ. 308ක්.

2010 දී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක්‌ හා 2014 දී රිදී පදක්කමක්‌ දිනා ගැනීමට සමත් වූ සුදේශ් පීරිස්‌ට පරිසාධන මට්ටමට ළඟා වීමට නොහැකි වීම නිසාවෙන් ඔහුට මෙවර ක්‍රීඩා උළෙල අහිමි වී යයි.

චින්තන ගීතාල් විදානගේ (2002, 2006, 2010, 2014), ඉන්දික චතුරංග දිසානායක (2010, 2014), ශානක මධුශංක පීටර්ස්‌ (2010, 2014), තිලංග විරාජ් පළඟසිංහ (2014) සහ චමරි වර්ණකුලසූරිය (2014) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මින් පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල් සඳහා සහභාගි වෙමින් අත්දැකීම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා පළමු වරට මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටී.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්‌ට්‌ නගරයේ දී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ දී ප්‍රදර්ශනය කළ දක්‍ෂතා පදනම් කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙක් මීට සුදුසුකම් ලබාගෙන ඇති අතර කිලෝග්‍රැම් 105ට වැඩි බර පන්තිය යටතේ තරග වැදුණු ඩබ්ලිව්. පී. උෂාන් පසුගිය ඔක්තෝබර් මස අසර්බයිජාන්හිදී පැවති ජාත්‍යන්තර ගෘහස්ථ තරගාවලියේ දී ප්‍රදර්ශනය කළ දක්‍ෂතා පදනම් කර ගනිමින් මේ සඳහා වරම් දිනාගෙන ඇත.

සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම

පිරිමි: ජේ. ඒ. චතුරංග ලක්‌මාල් (කි.ග්‍රෑ 56), තිලංග විරාජ් පළඟසිංහ (කි.ග්‍රෑ. 62), ඉන්දික චතුරංග දිසානායක (කි.ග්‍රෑ. 69), චින්තන ගීතාල් විදානගේ (කි.ග්‍රෑ. 77), ශානක මධුශංක පීටර්ස්‌ (කි.ග්‍රෑ. 94), ඒ. ජී. සමන් අබේවික්‍රම (කි.ග්‍රෑ. 105), ඩබ්ලිව්. පී. උෂාන් (කි.ග්‍රෑ. 105 වැඩි බර පන්තිය).

කාන්තා: හංසනී ගෝමස්‌ (කි.ග්‍රෑ. 48), චමරි වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 53), නදීශානී රාජපක්‍ෂ (කි.ග්‍රෑ. 58), බී. චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑ. 75)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<