ඉතාලිය අපරාජිකත්වය රැකගනිද්දී වේල්සයට පළමු ජය

Euro 2020

182
Finland v Russia, Turkey v Wales, Italy v Switzerland

“Euro 2020” පාපන්දු තරගාවලියේ තවත් තරග තුනක් (A සහ B කාණ්ඩයේ) මෙරට වේලාවෙන් අද (17) උදෑසන සහ ඊයේ (16) රාත්රියේ දී පැවැත්වුණා.

එහි දී පිළිවෙළින් ෆින්ලන්තය, තුර්කිය සහ ස්විස්ටර්ලන්තය පරදවා ජයග්‍රහණ ලබා ගන්නට රුසියාව, වේල්සය සහ ඉතාලිය සමත් වුනා.

Finland v Russia

රුසියාවේ Saint Petersburg හී Krestovsky Stadium හී පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක් ලෙස ෆින්ලන්තය පරදවා තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට රුසියාව සමත් වුනා.

පළමු අර්ධය ආරම්භයේ සිටම ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ රුසියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Aleksey Miranchuk සමත් වුනේ පළමු අර්ධයේ අතිරේක කාලයේ දීයි.

Artem Dzyuba විසින් දඬුවම් රාමුව තුළ දී ලබා දුන් පන්දුවක් ෆින්ලන්ත පසුපෙළ ක්‍රීඩකයන් පසු කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල තුළට එල්ල කිරීමට Miranchuk සමත් වුනේ ෆින්ලන්ත ගෝල රකින්නාට සිතීමටවත් කාලයක් ඉතුරු නොකරමින්.

පෙර අර්ධයේ ලද පසුබෑමෙන් පසු දෙවැනි අර්ධයට පිවිසි ෆින්ලන්ත ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ට තරමක පීඩනයක් එල්ල කරමින් ගෝල රාමුව අසලට පන්දුව ගෙන ඒමට උත්සහ දැරූ නමුත් රුසියානු පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් සකසා ගැනීමට ඔවුනට හැකි වුනේ නැහැ.

එම අර්ධය තුළ දී රුසියානු ක්‍රීඩකයන්ට ද ගෝල ලබා ගැනීමට හිමි වූ අවස්ථාවන් කිහිපයක්ම සාර්ථකව අවසන් කිරීමට ඔවුනට ද නොහැකි වීම නිසා දෙවැනි අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය: ෆින්ලන්තය 00 – 01 රුසියාව 

ගෝල ලාභීන්:

  • රුසියාව: Aleksey Miranchuk (45+2)

Turkey v Wales

Azerbaijanයේ Baku හී ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස තුර්කිය පරදවා තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගන්නට වේල්ස් ක්‍රීඩකයන්ට හැකි වුනා.

ආරම්භයේ සිටම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ වේල්ස් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක Aaron Ramsey තුර්කි දඬුවම් රාමුවේ සිට ගෝල රාමුවේ වම් කෙළවරට එල්ල කළ පහරක් ඉතා දක්ෂ ලෙස නවතාලීමට තුර්කි ගෝල රකින ක්‍රීඩක Uğurcan Çakır සමත් වුනා.

පළමු අර්ධය පුරාවට දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ Aaron Ramsey තරගයේ 42 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස්කළා. වේල්ස් නායක Gareth Bale දඬුවම් රාමුව පිටත සිට අලංකාර පන්දු පිරිනැමීමක් ඔස්සේ යොමු කළ පන්දුවක් සාර්ථකව පාලනය කර ගත් Aaron Ramsey එය සාර්ථකව ගෝලයට යොමු කළේ ප්‍රතිවාදී ගෝල රකින්නාට එය වැළැක්වීමට අවස්ථාවක් ඉතුරු නොකරමින්.

තරගයේ 61 වැනි මිනිත්තුවේ දී තුර්කි පසුපෙළ ක්‍රීඩක Zeki Celik දඬුවම් සීමාවේ දී සිදු කළ වරදක් නිසාවෙන් හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාව ලබා ගත් වේල්ස් නායක Gareth Bale එල්ල කළ පහර වම් ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේ වේල්ස් කණ්ඩායමට තරගයේ ජය තහවුරු කර ගැනීමට ලද පහසු අවස්ථාවක් අහිමි කරමින්.

නමුත් අවසන් අතිරේක කාලයේ දී වේල්ස් නායක Gareth Bale පැති රේඛාව ඔස්සේ ගෝල රාමුව අසලට ගෙනවිත් Connor Roberts හට පිරිනැමූ පන්දුවක් සාර්ථකව ගෝලයට යොමු කිරීමට Connor Roberts සමත් වුනේ සිය කණ්ඩායම දෙවැනි වටයේ අසුනකට ලං කරමින්.

අවසන් ලකුණු තත්වය: වේල්සය 02 – 00 තුර්කිය 

ගෝල ලාභීන්:

  • වේල්සය: Aaron Ramsey 42’, Connor Roberts 90+5

Italy v Switzerland

ඉතාලියේ Olimpico ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට ජය ගැනීමට සමත් වුනේ සත්කාරක ඉතාලි කණ්ඩායමයි. ඒ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන් ගෝල 3-0 ලෙස පරාජය කරමින්.

පෙර තරගයේ ලබා ගත් ජයග්‍රාහී රිද්මය එලෙසම පවත්වා ගනිමින් ආරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඉතාලි කණ්ඩායම වෙනුවෙන් Giorgio Chiellini 19 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට සමත් වූවත් විනිසුරුවරයා විසින් VAR තාක්ෂණය ඔස්සේ එය නැවත නැරඹීමෙන් පසු පන්දුව අතේ දැවටීම නිසා ගෝලය අවලංගු කිරීමට කටයුතු කළා.

නමුත් එම සිදුවීමෙන් සුළු වේලාවකට පසු තරගයේ 26 වැනි මිනිත්තුවේ දී Domenico Berardi ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කිරීමට ඉතාලි ක්‍රීඩක Manuel Locatelli සමත් වුනේ පළමු අර්ධයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙන දෙමින්.

දෙවැනි අර්ධය ආරම්භ වී වැඩි වේලාවක් යාමට මත්තෙන් තරගයේ 52 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ Manuel Locatelli දඬුවම් රාමුවෙන් එපිට සිට ලැබූ පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයේ දකුණු කෙළවරින් දැළ තුළට ඇතුළු කිරීමට සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය වූ පරතරය ගෙන දෙමින්.

එම ගෝලයෙන් පසු තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය සියතට ගත් ඉතාලිය වෙනුවෙන් තෙවන ගෝලය රැස් කිරීමට Ciro Immobile සමත් වුනේ තරගයේ 89 වැනි මිනිත්තුවේ දීයි. ප්‍රතිවාදී ක්‍රීඩකයන් පසුකරමින් ගෙන ආ පන්දුවක් දඬුවම් රාමුවට පිටත සිට ගෝලයට එල්ල කිරීමට ඔහු සමත් වුනේ ප්‍රතිවාදීන්ව තවත් අසරණ කරමින්.

අවසන් ලකුණු තත්වය: ඉතාලිය 03 – 00 ස්විස්ටර්ලන්තය 

ගෝල ලාභීන්:

  • ඉතාලිය: Manuel Locatelli 26’ & 52’, Ciro Immobile 89’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<