දඟයන්ට වගකීම් පැවරෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය

World Cup 2023

646
SL vs SA Match Preview

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමඟින් අද (07) දිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙරට ක්‍රීඩකයෝ එකිනෙකා හමුවෙන්නේ හරියට ම වසර 2කට පසුව වීම විශේෂත්වයක්. අවසන් වරට ඔවුනොවුන් හමු වෙන්නේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එරට කළ සංචාරයේ දීයි. එහි දී එක්දින ජාත්‍යන්තර තරග 3කට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 2-1ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කරනවා.  

කෙසේ වෙතත් දෙරට තරග ඉතිහාසය සටහන් වෙන්නේ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 80ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 33ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී දකුණු අප්‍රිකාව තරග 45ක් දිනා ඇති බවයි. අනෙක් තරග 2න් එකක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර අනෙක් තරගය නොවිසඳුණ තරගයක් ලෙසින් සටහන් වී තිබෙනවා. 

ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 6ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 4ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙද්දී තරගයක ජයග්‍රහණය දකුණු අප්‍රිකාව සතු වෙනවා. අනෙක් තරගය ලකුණු සම වීමෙන් අවසන් වූ තරගයක් ලෙසයි නිමා වෙන්නේ.  

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.   

දකුණු අප්‍රිකා සංචිතය: Temba Bavuma (නායක), Gerald Coetzee, Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට එක් වීම සදහා ඉන්දියාවට ගිය විගස මුහුණ දුන් ප්‍රශ්නය වූයේ නායක දසුන් ශානක සේ ම කුසල් පෙරේරා ද ආබාධිත තත්ත්වයට පත්වීමයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා දඟපන්දු බලාපොරොත්තුව වූ මහීෂ් තීක්ෂණ ද ආබාධිත තත්ත්වයක් මත සිටියේ මෙරටයි.

නමුත් බලාපොරොත්තු සහගත ලෙසින් ම ඔවුන් මෙම තරගයට එක් වීම සඳහා සුදුසු තත්ත්වයේ පසුවෙන බවයි එරට ආරංචි ගෙන ආවේ. 

එබැවින් මෙම තිදෙනා ද එකතුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරනු ඇතැයි සිතිය හැකි.  

එහි දී පිතිකරුවන් ලෙසින් කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ සදීර සමරවික්‍රම වෙත තැබෙන බලාපොරොත්තු අපමණ විය හැකි. කුසල් මෙන්ඩිස් ඇෆ්ගනිස්තානය සමඟ වූ පුහුණු තරගයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් සහ අවසන් තරග 10 දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 382ක් ලබා ගනිමින් මේ වෙද්දී විශ්වාසවන්ත පිතිකරුවෙක් ලෙසින් සහතික වී සිටීම කණ්ඩායමට වඩාත් වැදගත් සාධකයක් වී තිබෙනවා.  

එම ලැයිස්තුවේ ඊට පසුව සිටින විශ්වාසවන්ත පිතිකරුවා වී සිටින්නේ පැතුම් නිස්සංක. ඔහු සහභාගී වූ අවසන් තරග 10 දී ලකුණු 360ක් ලබා ගන්නේ සිම්බාබ්වේට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට වාර්තා කරන ලද ශතක 2ක් ද සමඟයි.

ඊට අමතරව කුසල් පෙරේරා, චරිත් අසලංක සහ සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙසින් මෙම තරගයට එක් වෙනු ඇතැයි විශ්වාස කළ හැකි අතර ඔවුන්ගෙන් පෙර දක්ෂතාවලට වඩා වැඩි දක්ෂතාවන් මෙම තරගාවලියේ දී බලාපොරොත්තු වෙනවා

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් නායක දසුන් ශානක සහ ධනංජය ද සිල්වා එක් විය හැකි අතර පන්දු යවන්නන් අතරින් වඩාත් විශ්වසනීය වන්නේ දඟපන්දු යවන්නන් කෙරෙහි තැබෙන විශ්වාසයයි.

එහි දී මහීෂ් තීක්ෂණට සහ දුනිත් වෙල්ලාලගේ වෙත වැඩි වගකීම් පැවරෙන අතර ධනංජය ද සිල්වාට සහ චරිත් අසලංකට ද යම් තරමකින් මහන්සි වීමේ ප්‍රවනතාවක් මතු විය හැකි. මහීෂ් තීක්ෂණ තම අවසන් තරග 10 දී කඩුලු 26ක් දවා ගනිමින් මෙම විශ්වාසය තහවුරු කරගෙන සිටිනවා.  

ලහිරු කුමාර මෙම තරගයේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එක් වීමේ වැඩි ඉඩ කඩක් පවතින අතර ඔහු සහභාගී වූ අවසන් තරග 10 දී කඩුලු 16ක් දවා ගැනීමට සමත් ව සිටිනවා. 

ඔහුගේ සහායක වේගපන්දු යවන්නා ලෙස එක්කර ගන්නේ  ඩිල්ශාන් මධුශංක ද, නොමැති නම් මතීෂ පතිරණ ද යන්න තීරණය කිරීම තණ තීරුවේ තත්ත්වය මත සිදු විය හැකි.  

දකුණු අප්‍රිකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම:  

දසුන් ශානක (නායක) කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක / මතීෂ පතිරණ, ලහිරු කුමාර. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සූදානම 

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති පුහුණු තරගවල දී ද එතරම් ම දක්ෂතා අතරට නොපිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ මෙම තරගයට පිවිසෙන්නේ තම පෙර දක්ෂතා පෙරටු කර ගනිමිනුයි.  

ඔවුන් නවසීලන්තය සමඟ පැවති පෙරහුරු තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 7ක පරාජයකට මුහුණ දෙන අතර ඇෆ්ගනිස්තානය හා සමඟ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙනවා

ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ ශක්තිය රැදී  පවතින්නේ ඉදිරි සහ මැදපෙළෙහි වන කදිම  සුසංයෝගයයි. ඒ අතරින් ඉදිරියෙන් සිටින්නේ නායක Temba Bavuma. ආරම්භක දකුණත් පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන ඔහු මේ දක්වා මුහුණ දුන් අවසන් ඉනිම් 10 දී ලකුණු 637ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 79.625ක්.

ඊට තම එක්දින ජාත්‍යන්තර පිටියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 144ට අමතරව තවත් ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

ඊට අමතරව පෙළ ගැසෙන අනෙක් විශ්වාස කළ නොහැකි පිතිකරුවා වන්නේ 29 හැවිරිදි දකුණත් පිතිකරු Aiden Markram. ඔහු තමන් මුහුණ දුන් අවසන් එක්දින තරග ඉනිම් 10 නිමා කරන්නේ ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 564ක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය 70.5ක් වැනි ඉහළ අගයක රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.  

එම ඉනිම් අතර ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග 55ක ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වූ නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 175 ද ඇතුළත්.

ඔවුන් දෙදෙනාට අමතරව Quinton de Kock, Rassie van der Dussen, Aiden Markram සහ Heinrich Klaasen ද මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් විය හැකි පිතිකරුවෝ ලෙසින් පෙළ ගැසෙනවා.  

පන්දු යැවීමේ දී ඔවුන්ගේ ද බලාපොරොත්තුව වී ඇත්තේ දඟපන්දු යවන්නන් වෙතයි. ඒ අනුව ඔවුන්ගේ වැඩි විශ්වාසය රැදී පවතින්නේ වමතින් දඟපන්දු යවන Tabraiz Shamsi වෙතයි. ඔහු තමන් සහභාගී වූ අවසන් ඉනිම් 10 දී කඩුලු 18ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

ඊට අමතරව වමතින් දඟපන්දු යවන Keshav Maharaj ද දකුණු අප්‍රිකා කණ්ඩායමේ විශ්වාසවන්ත පන්දු යවන්නෙක් ලෙසින් නම් කෙරෙනවා. ඔහු තමන්ගේ අවසන් තරග 10 නිමා කරන්නේ කඩුලු 13ක් ලබා ගනිමින්. ඒ අතර ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම වූ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 33කට ලබා ගත් කඩුලු 4 ද ඒ අතර තිබෙනවා.  

මෙම පන්දු යවන්නන් දෙදෙනාට අමතරව වමතින් වේගපන්දු යවන Marco Jansen සහ  දකුණතින් වේගපන්දු යවන Kagiso Rabada ද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් විය හැකි පිතිකරුවන් ලෙසයි හැඳින්වෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම :  

Temba Bavuma (නායක), Quinton de Kock (කඩුලු රකින්නා), Rassie van der Dussen, Aiden Markram, Heinrich Klaasen, David Miller, Marco Jansen, Gerald Coetzee, Tabraiz Shamsi, Keshav Maharaj, Kagiso Rabada.  

තරගය පැවැත්වෙන දිල්ලි Arun Jaitley ක්‍රීඩාංගණය බොහෝ විට පන්දු යවන්නන්ට වඩාත් සුබදායි ක්‍රීඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. එබැවින් කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීමයි සුදුසු වෙන්නේ. 

කෙසේ වෙතත් ඒ මඟින් පිතිකරුවන් ලකුණු 250කට අඩුවෙන් දවා ගත යුතු අතර එම සීමාව ඉක්මවා යෑමේ දී දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට අවාසිදායක ලෙසයි සැලකෙන්නේ.  

ක්‍රීඩා කිරීමට සුදුසු සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් ක්‍රීඩාංගණය අවට පවතින බවට එරට කාලගුණ තොරතුරු අනාවරණය කරන අතර එය එළඹෙන සතිය පුරා ම පැවැතෙන්නක් බව ද ප්‍රකාශිතයි.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම මංගල තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<